Language Switcher

V2025

හෙලිකොප්ටර් ඩීල් ගැන : තිස්ස හෙලිකොප්ටරයේ සිට කියයි !

නිදහස් ජනතා සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් කොළඹ දී පැවැත් වූ රැස්වීමට එහි සාමාජික පක්ෂයක නායකයකු වන තමන්ට ආරාධනා නොකිරීම කනගාටුදායක තත්ත්වයක් බව ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ පැවසීය.

මහනුවර, පොල්ගොල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ 07ක් තිබෙන බවත් ලංකා සමසමාජ පක්ෂය එහි සාමාජික පක්ෂයක් බවත් කී හෙතෙම සියලු පක්ෂ එකතු වී මැතිවරණයට මුහුණදීම සඳහා ගොඩනැගූ නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක සමාරම්භක රැස්වීමට තමන්ට ආරාධනා නොකිරීම ගැටලුකාරී තත්ත්වයක් බවද සඳහන් කළේය.

නිදහස් ජනතා සන්ධානය යටතේ පළාත් පාලන ආයතන වලට නාම යෝජනා ලබාදීමේදී සිය පක්ෂය මගින් ද අපේක්ෂක ලැයිස්තු සඳහා නම් ඉදිරිපත් කළත් අවසන් ලැයිස්තු පිරික්සීමේ දී එම නම් බොහොමයක් හැලී ගොස් තිබුණු බවද හෙතෙම පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් සඳහා ලංකා සමසමාජ පක්ෂය මගින් අපේක්ෂකයන් නම් ඉදිරිපත් කළත් ඒ කිසිවකුට නිදහස් ජනතා සන්ධානය තුළ ඉඩක් නොලැබුණු බවත් මේ නිසා පළාත් පාලන ආයතන කිහිපයකට සමසමාජ පක්ෂය යටතේ නාම යෝජනා ලබාදීමට සිදුවූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වාමාංශික බලය වැඩිපුර පවතින මාතර දිස්ත්‍රික්කය සඳහා සමසමාජ පක්ෂය ඉල්ලා සිටියේ එක් අපේක්ෂක ධුරයක් පමණක් වුවත් එයද නොලැබුණු බව විතාරණ මහතා කීවේය.

ලංකා සමසමාජ පක්ෂයට විරුද්ධව නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඒ කිසිවක් හමුවේ තමන් නොසැලෙන බවත් මහාචාර්වරයා වැඩිදුරටත් පැවසුවේය.

තම පක්ෂයට සිදුවන කෙනෙහෙලිකම් සම්බන්ධව තරහක් නොමැති බවත් මෙම සන්ධානය කඩා ඉහිරවීම පිණිස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේද යන්න සොයා බැලිය යුතු බවත් ඔහු කීවේය. වෙනත් පාර්ශ්වයකින් මුදල් ලබාගෙන සන්ධානය කඩාකප්පල් කිරීම සඳහා පිරිසක් ඒ තුළට රිංගා ඇති බවට තමා සැකකරන බවද මුදල් මත සිදුවූ එවන් කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශාල වශයෙන් නිදසුන් ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එදා යහපාලන ආණ්ඩුව සමයේ අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ එම්.සී.සී. ගිවිසුම හා සෝපා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටියද මැතිවරණ පරාජය හේතුවෙන් එම උත්සාහය වැළකී ගිය නමුත්, අද වන විට රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ හා ඇමරිකානු තානාපතිවරිය එක්ව මෙම ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය රහසේ සකස් කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් කෙසේ හෝ මෙම උත්සාහය ව්‍යර්ථ කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කීවේය.