75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනපතිගෙන් උපදෙස් !

75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනපතිගෙන් උපදෙස් !

නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ අනුව 75 වන නිදහස් දින සමරු උත්සවයට සමගාමීව පෙබරවාරි 02 දා සිට 19 වන දා දක්වා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. විශේෂ දළදා පූජාව හා මහ පිරිත් දේශනාව, සර්ව ආගමික වතාවත්, නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය, ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන සාම්ප්‍රදායික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය, මහජනතාවට නොමිලේ ජාතික උද්‍යාන හා ජාතික සත්වෝද්‍යාන ප්‍රදර්ශනය, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම, මහනුවර ජනරජ පෙරහැර, දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිදහස් පාපැදි සවාරිය පැවැත්වීම ආදී විශේෂ වැඩසටහන් පැවැත්වීමට සූදානම් කර තිබේ.

මේ සදහා අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා ප්‍රායෝගිකව වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බවත්, ඊට අනුගතව වියදම් අවම කර ගනිමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාව තුළ දැවැන්ත විරෝධයක් පවතින බව සිහිපත් කළ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ඒ කෙරෙහිද දැඩි අවධානය යොමු කරමින් අදාළ වියදම් අවම කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ 

"අපි හැත්තෑපස් වන නිදහස් දිනය සැමරිය යුතුයි. අපි එය සිදු නොකළහොත් ලෝකය කියයි අපට නිදහස් සැමරුමක්වත් පවත්වන්න බැහැ කියලා. ඒ වගේම අපිට සංචාරකයන් වගේම, ආයෝජකයන් කැඳවා ගැනීමට අවශ්‍යයි. අපේ රට ගැන හොඳ ප්‍රතිරූපයක් ගොඩනගන්න ඕන. ඒ නිසා වියදම් උපරිමයෙන් සීමා කර, අපි මේ නිදහස් දිනය සමරමු.
නිදහස් දින සැමරුමට සමගාමීව නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඩුබායිවල පැවැත්වෙන දේශගුණික සමුළුට (COP28) සහභාගීවීමට පෙර අපි එහි කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම නව ආයතන කිහිපයක් ආරම්භ කිරීමටත් නියමිතයි. ඊට අදාළ නීති සම්ම්ත කරගෙන වැඩකටයුතු ආරම්භ කරන විට අගෝස්තු මාසය පමණ විය හැකියි. ඒ වගේම රටට දීර්ඝ කාලීන ප්‍රතිලාභ ලැබෙන දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. කොහොමටත් මේ කටයුතු සඳහා මුලුමනින්ම වියදම් කිරීමට මහා භාණ්ඩාගාරයට මුදල් නැහැ. ඒ නිසා ප්‍රධාන කටයුතු සඳහා මුදල් වෙන් කිරීම සිදු කරන ගමන් තමයි අනෙකුත් කටයුතු ගැන අවධානය යොමු කරන්න වෙන්නේ.

 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පාලාත් පාලන, ආරක්ෂක, විදේශ කටයුතු, අධ්‍යාපන, බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු, ජනමාධ්‍ය, මුදල් යන අමාත්‍යාංශවල ලේකම්වරු සහ මහා භාණ්ඩාගාරය ඇතුළු රේඛීය ආයතනවල නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-01-26

{gallery}indipendet{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න