වවුනියාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක පී. කරුණාදාස සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සහෝදරයකු වන උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන් අතර ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් අද (16) වවුනියා නගරසභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ බව වාර්තා වෙයි.
අද වවුනියාව නගරසභාවේ නගරාධිපතිවරයා තෝරාගැනීම සඳහා වූ ජන්ද විමසීමෙන් පසුව මෙම තත්ත්වය හටගෙන තිබෙන අතර එහිදී එජාප සංවිධායකයා චෝදනා කර සිටියේ රිෆ්ඛාන් බදියුදීන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියට නගරාධිපති ජන්ද විමසීමේදී බලපෑම් කර ඇති බවටයි. පසුව එම සිදුවීම සමතයට පත්වූ බවද වාර්තා වෙයි.
වවුනියාවේ නගරාධිපති පුටුව TNA ට අහිමි වෙයි
කෙසේ වුවත් වවුනියාව නගර සභාවේ බලය ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් ගිලිහී දෙමළ ජාතික විමුක්තිකාමි පක්ෂය විසින් දිනාගෙන අතර ඒ දෙමළ ජාතික විමුක්තිකාමි පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වු රාසලිංගම් ගෞතම් නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව ජන්ද 11 ක් ලබාගැනීමට සමත්වූ නිසාය. එහිදී ද්‍රවිඩ ජාතික සන්ධාන ඉදිරිපත් කළ අපේක්ෂකයා වෙනුවෙන් හිමිවුයේ ඡන්ද 09 ක් පමණක් වූ අතර එක් සාමාජිකයෙකු ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
මෙම ජන්ද විමසුමේදී දෙමළ ජාතික විමුක්තිකාමි පක්ෂය,එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඊ.පි.ඩි.පි පක්ෂය ඒකාබද්ධව දෙමළ ජාතික විමුක්තිකාමි පක්ෂයේ නියෝජිතයා වෙනුවෙන් ජන්දය ප්‍රකාශකර ඇති අතර ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනුවෙන් වෙනත් කිසිදු පක්ෂයක සහයෝගය හිමිනොවූ බවද වාර්තා වෙයි.
පසුගිය සමය පුරා වවුනියාව නගර සභාවේ බලය නතුකරගෙන සිටියේ ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් වන අතර පසුගිය ඡන්දයෙන්ද තනි පක්ෂයක් ලෙස වැඩි බලයක් ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත හිමිව තිබිණ. නමුත් අනෙකුත් පක්ෂ සියල්ල එක්වීම හමුවේ දෙමළ ජාතික සන්ධානය වෙත නගර සභාවේ නගරාධිපති තනතුර ගිළිහීගොස් ඇත.
උතුරු පළාත් පාලන කොමසාරිස් පැට්‍රික් ඩිරන්ජන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පළාත් සභා පළමු සභා වාරය අද පැවැත්වුණු අතර ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් , දෙමළ ජාතික විමුක්තිකාමි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා, වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ.මස්තාන් මහතා ඇතුළු පිරිසක් ඒ අවස්ථාවට සහභාගි වී සිටියහ.