ඇප ලැබුණත් අලුත්ගමගේ රිමාන්ඩ්

ඇප ලැබුණත් අලුත්ගමගේ රිමාන්ඩ්

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ හෙට(17) දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වෙයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අද (16) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කරන්නු ලැබිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගනු ලැබුණේ පසුගිය රජය සමයේ ක්‍රිඩා අමාත්‍යංශයට කැරම්බෝඩ් ඇතුළු ක්‍රිඩා ආම්පන්න මිල දී ගැනීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 39ක් සාවාද්‍ය ලෙස පරිහරණය කළ බවට සැකපිට වන අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රුපියල් 35,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කරනු ලැබීය.

එසේම ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එහෙත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය මේ වන විට මහාධිකරණය හමුවේ පවතින බැවින් ඒ බව ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන් මන්ත්‍රීවරයාව හෙට දිනය දක්වා රිමාන්ඩ් කිරීමට බන්ධනාගාර නිළධාරීන් කටයුතු කර ඇත්තේ ඒ අනුවය.

කෙසේවුවත් සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ චෝදනාවට භාජනය වී තිබෙන මුදල් පොදු දේපළ ගණයට අයත් නොවන බැවින් සැකකරුට ඇප ලබාදීමට අධිකරණයට බලයක් පවතින බවය.

එය පිළිගත් අධිකරණය සැකකාර මන්ත්‍රීවරයා ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර මැයි මස 11 වන දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න