Language Switcher

V2025

අත කඩන්න ඔට්ටුවක් : තෑග්ග පොහොට්ටුවේ දිස්ත්‍රික් නායක ධුරයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවදුරටත් බෙදීයාමට වැඩකටයුතු සිදුකරන ලෙසත්, එම කටයුත්ත සාර්ථකව ඉටුකළහොත් ස්ථීර ලෙසම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකත්වය ලබාදීමට මැදිහත් වන බවට, ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප ප්‍රබලයකුට පොදුජන පෙරමුණේ නායකයකු සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ ප්‍රබලයකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයකු සමඟ සිදුකළ සාකච්ඡාවේදී මෙම පොරොන්දුව ලබාදී ඇත.

සාකච්ඡාවේ නිමිත්ත : පොහොට්ටුවේ තනතුරු ගන්නට ඇති බාධා ගැන

වාර්තා වන ආකාරයට මෙම සාකච්ඡාව සිදුව ඇත්තේ 16 කණ්ඩායමේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව වන අතර එහිදී අදාළ පිරිසට පොදුජන පෙරමුණේ තනතුරු ලබා ගැනීමට තිබෙන බාධා පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ඇත.

එහිදී ඉදිරි ජාතික මැතිවරණ ආසන මට්ටමින් පැවැත්වුවහොත් තම කණ්ඩායම අර්බුදයට පත්වන බවත් එහෙයින් ජේෂ්ඨත්වය සළකා හෝ කිහිපදෙනෙකුටවත් ආසන සංවිධායකධුර ලබාදීමට කටයුතු කරන ලෙස 16 කණ්ඩායමේ නියෝජිතයා ඉල්ලීමක් සිදුකර ඇත.

ඇතුලේ වැඩේ හරියට කරන්න : ඉතුරු ටික මං බලාගන්නම් - පොහොට්ටුවේ ප්‍රබලයාගෙන් උපදෙස්

ඒ අවස්ථාවේදී පොදුජන පෙරමුණේ ප්‍රබලයා පෙන්වාදී ඇත්තේ මතුව තිබෙන විරෝධය බරපතල බැවින් ඊට එරෙහිව මේ මොහොතේ කටයුතු කළහොත් තම පාර්ශවය තුළද බෙදීමක් සිදුවීමේ අවධානමක් මතුවිය හැකි බවය.

කෙසේ වුවත් ශ්‍රීලනිපය දුර්වල කිරීමට දක්වන දායකත්වය මත 16 කණ්ඩායමට නිලතලදීම සම්බන්ධව මතුව ඇති විරෝධතා සමනය කරගත හැකි බවට තමන් විශ්වාස කරන බැවින් මේ මොහොතේ ඒ වෙනුවෙන් කැපවන ලෙසද සඳහන් කර ඇත.

එවැනි තත්වයක් තුළ ආසනයක් පමණක් නොව දිස්ත්‍රික් නායකකමක් වුවත් ලබාදීමට හැකි බවත් පොදුජන පෙරමුණේ ප්‍රබලයා පවසා ඇති අතර එහිදී 16 කණ්ඩායමේ ප්‍රබලයා "සර්ගේ වචනය ගැන විශ්වාසය තියනවා" කියා අදාළ පොරොන්දුව භාරගෙන ඇති බවත් ඒ වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳවද අදහස් පළකර ඇති බව වාර්තා වෙයි.

එහිදී "ඔන්න බලන්න සර්, මං CC (මධ්‍යම කාරකසභාව) එකේදී කියන්න ඉන්නේ අරුන් ටික PM (අගමැති) ට විරුද්ධ විශ්වාසභංගය වර්ජනය කලේ පක්ෂය තීරණයක් ගන්න කලින්, PM එක්ක ඩීල් දාලා කියලා" යනුවෙන්ද පවසා ඇත.

මහින්දගේ ටී පාර්ටියෙදී සාකච්ඡාව එළියට

මේ සාකච්ඡාව සම්බන්ධව අලුත් අවුරුද්ද නිමිති කරගෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් 15 වනදා හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගිය අවස්ථාවේද කතාබහට ලක්ව ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.