Language Switcher

V2025

ජනාධිපති උපදෙසින් : ජනාධිපති අරමුදල සට පට ගා වැඩ !

ජනාධිපති අරමුදල වෙත 2022 වසර අවසානය වන විට ලැබී තිබූ අයදුම්පත් 11,000ක පමණ ප්‍රමාණයෙන් අයදුම්පත් 10,360ක වැඩ කටයුතු අවසන් කිරීමට පියවර ගෙන තිබෙන බව එහි ලේකම් ඩබ්.ඒ. සරත් කුමාර පැවසීය.

එම අයදුම්පත්වලට අදාළ ගෙවීම් කටයුතු ද බොහෝ ප්‍රමාණයක් දැනටමත් අවසන් කර ඇති අතර ඉතිරි අයදුම්පත් සම්බන්ධයෙන් ද අදාළ මුදල් ගෙවීම් කඩිනමින් නිරවුල් කරමින් සිටින බවත් එම කටයතු ඉදිරි සති කිහිපය තුළ අවසන් කිරිමට නියමිතව ඇති බවත් සරත් කුමාර මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙම වර්ෂය තුළ වෛද්‍යාධාර සඳහා රුපියල් මිලියන 1500කට ආසන්න මුදල් ප්‍රමාණයක් දැනටමත් ගෙවා අවසන් බවත් ඔහු පෙන්වා දෙයි.

ජනාධිපති අරමුදල වෙත 2022-08-01 දින වන විට ලැබී තිබූ අයදුම්පත් 8210ක ප්‍රමාණයක වැඩකටයුතු සිදු නොකර ගොඩගැසී තිබු අතර, මෙම දෙසැම්බර් 31 දිනට පෙර එම අයදුම්පත්වලට අදාළ වැඩකටයුතු නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ජනාධිපති අරමුදලේ නව ලේකම් ඩබ්ලිව්.ඒ. සරත් කුමාර මහතා වෙත ලබාදුන් උපදෙස් පරිදි එම කටයුතු කඩිනම් කෙරිණි.

ඒ අනුව අයදුම් පත් 10,360ක වැඩකටයුතු මේ වන විට අවසන් කර තිබෙන අතර වර්ෂ අවසානයේ ලැබී ඇති හා විවිධ හේතු මත වැඩ අවසන් නොවූ අයදුම්පත්‍ර 642ක සම්බන්ධයෙන් ද අදාළ කටයුතු කඩිනමින් සිදු කරමින් පවතින බවත් එම කටයුතු ඉදිරි සති කිහිපය තුළ අවසන් කිරීමට නියමිත බවත් සරත් කුමාර මහතා සඳහන් කළේය.

අසරණ රෝගීන් සඳහා වෛද්‍යාධාර ලබාදීම කඩිනම් කරන ලෙසත්, ගොඩගැසී ඇති අයදුම්පත් සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන බව පැවසූ ඒ මහතා, 2023 ජනවාරි මස සිට මෙම කටයුතු තවදුරටත් වේගවත් කර වෛද්‍යාධාර ලබාගැනීම සඳහා ජනාධිපති අරමුදල වෙත ලැබෙන අයදුම්පත් සම්බන්ධයෙන් ඉතා කෙටි කලක් තුළ වැඩ නිම කර අදාළ ගෙවීම් සිදු කිරීමත්, එමගින් අසරණ රෝගීන් සඳහා කඩිනම් සේවාවක් ලබාදීමටත් අපේක්ෂා කරන බව ද සදහන් කළේය.

දුර බැහැර රෝගීන්ට වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා නගර වෙත පැමිණීමට සිදුවීම අවම කර අදාළ පහසුකම් සැලසීම සඳහා ජනාධිපති අරමුදලේ දැනට ලියාපදිංචි කර ඇති රෝහල්වලට අමතරව නව රෝහල් ලියාපදිංචි කිරීමට ද කටයුතු කර තිබෙන බව ඔහු පැවසීය.
එසේම වෛද්‍යාධාර ලබාදීමේ දී සැත්කම් සහ ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් දැනට ගෙවනු ලබන මූල්‍යාධාර වැඩිකිරිම සඳහා අවශ්‍ය නි‍ර්දේශ ලබාගැනීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙන අතර, එම කමිටු නිර්දේශ ලද වහාම ගෙවනු ලබන වෛද්‍යධාර ප්‍රමාණයන් වැඩි කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

ඒ අනුව 2023 වර්ෂයේ මුල් මාස කිහිපය තුළ වෛද්‍යාධාර වශයෙන් ගෙවනු ලබන දීමනා වැඩි කිරිමට කටයුතු කෙරේ.

එසේම වෛද්‍යාධාර ගෙවනු ලබන රෝග සංඛ්‍යාවට අමතරව තවදුරටත් වෛද්‍යාධාර ගෙවීම සිදු කළ යුතු රෝග තත්ත්වයන් පිළිබඳව ද අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙස එම කමිටුවට උපදෙස් දී ඇත. එම උපදෙස් ලැබුණු වහාම අවශ්‍ය අනුමැතීන් ලබාගෙන ගෙවනු ලබන වෛද්‍යාධාර ප්‍රමාණය මෙන්ම වෛද්‍යාධාර ගෙවනු ලබන රෝග ලැයිස්තුව ද යාවත්කාලීන කිරීමට ද නියමිතය.

ජනාධිපති අරමුදල් පනතේ අනුමත විධිවිධාන අනුව කරුණාසහගත දීමනාවන් සහ ආගමික කටයුතු වඩා වැඩිදියුණු කිරීම සඳහා රු.මිලියන 20ක් ද, ජනාධිපති අරමුදල වෙත ලැබෙන මුදලින් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා රු.මිලියන 1300ක පමණ මුදලක් ද වර්ෂය තුළ නිදහස් කර ඇත.

එසේම 2023 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි 2024 වර්ෂයේ දී අ.පො.ස (උ/පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් 3000කට මසකට රු. 5,000 බැගින් පුරා වසර දෙකක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ජනාධිපතිවරයාගේ උ‍පදෙස් පරිදි කටයුතු කර තිබෙන අතර දැනට එම සිසුන් තෝරා ගැනීමේ කටයුතු සිදුකරමින් පවතී. සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් එම අයදුම්පත් භාර ගැනිමේ අවසන් දිනය ඊයේ ට (30) යෙදී තිබිණ .

වෛද්‍යධාර ලබා ගැනීම සඳහා ජනාධිපති අරමුදල වෙත අයදුම්පත්‍ර ඉදිරිපත් කරන මහජනයා මුහුණ දෙන ප්‍රවාහන හා වෙනත් ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන අයදුම්පත් භාර දුන් අවස්ථාවේ සිට මුදල් ගෙවීම සිදුකරන අවස්ථාව දක්වා එක් එක් අවස්ථාව ආවරණය වන පරිදි අවස්ථා 6ක දී කෙටි පණිවුඩ (SMS) යැවීමට කටයුතු කරනු ලබන අතර, මෙම කටයුතු 2023 වර්ෂයේ දී තවදුරටත් විධිමත් කිරීමට සැලසුම් කර ඇත.