Language Switcher

V2025

ලංකාව එපා කිව්ව මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය බංග්ලාදේශයේ වැඩ !

ජපානයේ ආධාර ඇතිව නිමකළ මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතියක් බංග්ලාදේශයේ ඩකා නගරයේ විවෘත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .

එම වාර්තා වල සඳහන් වන ආකාරයට මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති ඩකා නගරයේ වෙසෙන මිලියන 20 ක ජනතාවට විශාල සහනයක් ලැබෙනු ඇත .

එම ව්‍යාපෘතිය විවෘත කළ අවස්ථාවට එක්වූ එරට අගමැතිනි ෂෙයික් හසීනා පැවසුවේ එය එරටට ආඩම්බරයක් බවය.

එම සෑම දුම්රියකම එක් මැදිරියක් කාන්තාවන් වෙනුවෙන් වෙන්කරන බවද අග්‍රාමාත්‍යවරිය පවසා ඇත .

එහි ක්‍රියාත්මක කළ පළමු සැහැල්ලු දුම්රියෙහි රියදුරු ලෙස කටයුතු කරනුයේ ද කාන්තාවක වීමත් විශේෂත්වයකි .

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේරියම් අෆිසා පැවසුවේ සිය සිහිනයක් සැබෑවූ බවය.

මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 2.8 ක වැයවී ඇති අතර එය ජපන් සංවර්ධන අරමුදල් මගින් අරමුදල් සපයා ඇත.

මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා වසර 6ක් පමණ ගතවී ඇති අතර එමගින් කිලෝ මීටර් 12ක් අතර පැයක් තුළ විශාල මගීන් සංඛ්‍යාවකට ගමන් පහසුකම් සැපයීමට හැකිය .

එසේම මෙට්‍රෝ දුම්රිය ජාලය දශකයකට ආසන්න කාලයක් සංවර්ධනය වෙමින් පවතින අතර 2030 වන විට දුම්රිය ස්ථාන 100 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ නගරය හරහා ගමන් කරන මාර්ග හයක් දක්වා සංවර්ධනය කිරීමට නියමිතව ඇත.

මෙවැනිම ව්‍යාපෘතියක් කොළඹ නගරය ආශ්‍රිතවද නිර්මාණය කිරීමට සූදානම් වුවද එය පසුව අවලංගු කිරීමට මෙරට බලධාරීන් තීරණය කළේය.