යාපනය, වලිකාමම් උතුර ප්‍රදේශයේ ආරක්ෂක හමුදා යටතේ පැවති ඉඩම් අක්කර 683 ක් වසර 28 කට පසුව ඒවායේ මුල් හිමිකරුවන්ට ලබාදීමට කටයුතු කර ඇත.
ඒ බව සංකේතවත් කරමින් මෙම ඉඩම් වල අයිතිය යුද හමුදාපති ලුතිනල් ජෙනරල් මහේෂ් සේනානයක විසින් යාපනයේ දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගන් මහතා වෙත 13 වනදා නිල වශයෙන් භාරදුන් අතර ඒ යාපනයේ මයිලිටි ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.
එහිදී අදහස් දක්වමින් යුදහමුදාපතිවරයා මෙසේ පැවසීය.
“අවුරුදු 28 ක් වැනි කාලයක් මේ අපගේ ජනතාව අනාත කඳවුරුවල ඉතාම දුක්කිත ජිවිත ගතකර බව මම දන්නවා. ඒ තත්ත්වයන් ඇති වූයේ ඔබගේ වරදින් හෝ අපගේ වරදින් නොවෙයි. 2009 වර්ෂයේදි යුද හමුදාව විසින් පරිභෝජනය කරන ලද පාවිච්චි කරන ලද ඉඩම් වලින් අද වනවිට සියටට 80කට වැඩි ප්‍රමාණයක් ඔබලා වෙත භාරදීලා තියෙනවා. අද අප ඔබ වෙත ඉතා සතුටින් භාරදෙන ප්‍රදේශය අක්කර 683ක් පමණ වනවා”
1990 වසරේ සිට මෙම ඉඩම් අයත් වූයේ යාපනය අධි ආරක්ෂක කලාපයට වූ අතර ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි සිවිල් ජනතාව වෙත ලබා දිය හැකි ඉඩම් පිළිබඳව සිදු කළ සොයා බැලීමකින් අනතුරුව මෙම ඉඩම් ජනතා අයිතියට පැවරීමට තීරණය කල බව ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
වලිකාමම් උතුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මයිලිටි උතුර, තයිඉට්ටි නැගෙනහිර සහ මියිලිට්ටි යන ප්‍රදේශ මෙම ඉඩම් අක්කර 683 ට අයත් අතර 300කට අධික පවුල් ප්‍රමාණයක් එම ඉඩම්වල මුල් හිමිකාරීත්වය දැරූ අතර යාපනයේ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර තිබූ කඳවුරු 12 ක සිටි ජනතාවට මේ හේතුවෙන් සිය මුල්බිම් කරා යාමට අවස්ථාව සැලසේ.
ඒ අනුව 2015 වසරේ සිට මේ දක්වා සිවිල් ජනතාව වෙනුවෙන් මුදා හැරුණු යාපනය දිස්ත්‍රිකයේ ඉඩම් ප්‍රමාණය අක්කර 21,000 කට අධික බවත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කර 24,000ක්ද මුලතිව් දිස්ත්‍රික්කයේ අක්කර 7000 ක්ද මේ වන විට සිවිල් ජනතාවට මුදාහැර තිබෙන බවද ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
තවද මෙතෙක් වසා තිබුණු පේදුරු තුඩුව – මයිලිටි හරහා ඇති පොන්නාලේ මාර්ගය ද යළි විවෘත කිරීමද මීට සමගාමීව සිදුවූ අතර ඒ අනුව 14 වනදා සිට උදෑසන 6.00 ත් රාත්‍රී 7.00 ත් අතර කාලය තුළ ජනතාවට එම මාර්ගය භාවිත කළ හැකිය.

