ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස පත්කර තිබෙන තානාපති, ඒ.එල්.ඒ. අසීස් අප්‍රේල් 12 දින ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, අධ්‍යක්ෂ ජනරාල් මයිකල් මොලර් මහතා වෙත සිය අක්ත පත්‍රය ප්‍රදානය කර ඇත.
නව නිත්‍ය නියෝජිතවරයා එහිදී උණුසුම් අන්දමින් පිළිගත් බවත් එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ මැදිහත් වීමෙන් දැනට ක්‍රියාත්මක කරගෙන යනු ලබන කාර්යයන් කීපයක් පිළිබඳව නව තානාපතිවරයා දැනුවත් කිරීමට අධ්‍යක්ෂ ජනරාල් මයිකල් මොලර් කටයුතු කල බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.
එසේම තිරසාර සංවර්ධන ඉලක්ක අරමුණු කරගත් සමෝධානික පර්යේෂණාගාරය, එක්සත් ජාතීන්ගේ ස්ත්‍රී පුරුෂ සමානතාව පිළිබඳ ව්‍යාපෘතිය හා උරුමයන් පිළිබඳ උපායමාර්ගික පිඹුරුපත වැනි කාලීන ව්‍යාපෘති ප්‍රමුඛතාවයේ ලා සැලකෙන බවත්, ඒවායේ උන්නතිය වෙනුවෙන් සක්‍රීය දායකත්වය ලබාදෙන අතරම ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ වැඩපිළිවෙල උදෙසා ලබාදුන් දායකත්වය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ද අධ්‍යක්ෂ ජනරාල් මයිකල් මොලර් ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත.
මෙහිදී ශ්‍රී ලංකා රජය විසින් තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම පිණිස ක්‍රියාත්මක කරන වැඩසටහන් හා සමාජ ආර්ථික යහපැවැත්ම හා අයිතිවාසිකම් වර්ධනයේ ලා රට තුළ ක්‍රියාවට නංවා ඇති සැලසුම් පැහැදිලි කර තිබෙන ලංකා නිත්‍ය නියෝජිතවරයා තවදුරටත් පවසා ඇත්තේ , එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අඛණ්ඩ සහයෝගීතාවයෙන් හා ඵලදායී සංවාද තුලින් සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේ සුභසිද්ධිය සාක්ෂාත් කරගැනීම ශ්‍රී ලංකා රජයේ අභිප්‍රාය හා ප්‍රතිපත්තිය බවයි.
ශ්‍රී ලංකා විදේශ සේවයේ 26 වසරක අත්දැකීම් සපිරි අසීස් , නව නිත්‍ය නියෝජිතවරයා ලෙස පත්වීමට පෙර ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස යුරෝපා හවුල හා බහු පාර්ශවීය ගිවිසුම් පිළිබඳ කටයුතු කළ අතර, එසේම ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස හා වියනා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙසද කටයුතු කර ඇත.

