Language Switcher

V2025

දිනේෂ්ට අග්‍රාමාත්‍ය ධූරය අහිමි වෙයිද ?

මේ වන විට අමාත්‍යාංශ අක්‍රීය වී ඇති බවත් දවසින් දවස ආණ්ඩුව අවුලෙන් අවුලට යන බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සඳහන් කරයි.

එය නිවැරදි කර නොගතහොත් අයවැයෙන් ආණ්ඩුව පරදිනු ඇති බවද ඔහු පවසයි.

සති අන්ත පුවත්පතක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වා ඇත.

එහිදී ඔහු මෙසේ සඳහන් කරයි.

‘අද තියන අමාත්‍යංශ දුවන්නෙ නැහැ. ඒකයි දවසින් දවස මේ ආණ්ඩුව අවුලෙන් අවුලට යන්නෙ. පොහොට්ටුව වැටිලා නැහැ. පළවෙනිම දේ ජනපති අගමැති එකතුවෙලා ස්ථාවර පොහොට්ටු ආණ්ඩුවක් හදන්න ඕන. පොදු පොරමුණට නම් දීපු අයට ඇමතිකම් දෙන්න ඕන. ඇත්තටම එහෙම වුනේ නැත්තං ඉදිරියේ අයවැයත් පරදිනවා. ඒ නිසා අයවැයට කලින් ආණ්ඩුව හදන්න ඕන’

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ අමාත්‍ය ධූර තවත් වැඩිකිරීම ට පොදුජන පෙරමුණ වෙතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත කෙරෙන බලපෑම මේ හරහා පෙන්නුම් කෙරෙන බවයි.

මේ වන විට පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් 10-12 අතර ප්‍රමාණයක් සඳහා කැබිනට් අමාත්‍ය ධූර ඉල්ලා ලැයිස්තුවක් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හරහා ජනාධිපති වෙත යොමුකර ඇති බවත් දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ දියත්කර ඇති බව නිරීක්ෂණය වන බවත් විචාරකයන් පවසයි .

කෙසේ වුවත් අයවැය පරාජයට පත්වෙයි නම් එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට හානියක් නොවන බවත් , දිනේෂ් ගුණවර්ධන වෙත අග්‍රාමාත්‍ය ධූරය අහිමිව, කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වීම දක්වා ජනාධිපතිවරයා තල්ලුවී යාමක් පමණක් සිදුවිය හැකි බවත් විචාරක මතය වී තිබේ.

ඒ තුළ තිබෙන ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇති බවත් පුරෝකථනය කරන දේශපාලන විචාරකයන් පවසන්නේ පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජනබලවේගය පක්ෂ බෙදී වෙන්වෙන සන්ධාන කිහිපයක් බිහිවනු ඇති බවත් පවසයි .