22 සංශෝධනය සම්බන්ධව : ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මෙන්න !

22 සංශෝධනය සම්බන්ධව : ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මෙන්න !

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත.

කතානායකවරයා මෙම දැනුම්දීම කළේ අද (06) සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ නිවේදන ඉදිරිපත් කරමිනි.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(1) ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල වන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතරයෙන් එය සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇතැයි කතානායකවරයා දැනුම් දුන්නේය.

පනත් කෙටුම්පතේ 2 වැනි වගන්තියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන හෙයින් අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණක් බවද කතානායකවරයා පැවසූවේය.

කෙසේ වෙතත්, 2 වැනි වගන්තියේ යෝජිත 41 (අ)(6) සහ 41(ආ)(4) වගන්ති ඉහත විග්‍රහ කරන ලද ප්‍රතිපාදනය ඉවත් කිරීම සඳහා යෝග්‍ය ලෙස සංශෝධනය වන්නේ නම් ජනමත විචාරණයක අවශ්‍යතාවය නිශේධ වන බවත් පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන හෙයින් අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කරනු ලැබීමෙන් පමණක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායකවරයා දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තියේ 44(2, 44(3), 45(1), 46(1), 47(3)(අ), 48(3) සහ 50 වැනි ව්‍යවස්ථාවන්හි සදහන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා ක්‍රියා කරන බවට වන සඳහන ඉවත් කර ඒ වෙනුවට අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ජනාධිපතිවරයා ක්‍රියා කරන බවට සංශෝධනය කර ඇත්නම් සහ
(ආ) 3 වැනි වගන්තියේ යෝජිත 47(2) ව්‍යවස්ථාවේ 47(2)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රතිස්ථාපනය කරන්නේ නම් ජනමත විචාරණයක අවශ්‍යතාවය නතර වනු ඇතැයිද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කතානායකවරයා පැවසුවේය.

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අගෝස්තු මස 10 වෙනිදා ඉදිරිපත් කරනු ලැබීය.

පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ අගෝස්තු මස 2 වැනිදාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න