Language Switcher

V2025

රට කොහෙටද ගෙනියන්නේ ? මෛත්‍රීපාලට ප්‍රශ්නයක් !

" රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව අපි බලාපොරොත්තු වුණේ මීට වඩා ජාතික එකඟතාවයක් පොදු එකඟතාවයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කතාකළා සර්ව පාක්ෂික ආණ්ඩුව සහ එම ආණ්ඩුවෙ වැඩපිළිවෙළ පිළිබඳව සහ ව්‍යුහය පිළිබඳව විග්‍රහයක්. නමුත් ඒ පිළිබඳව පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව අපි කණගාටු වෙනවා." යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි .

සමාජයීය, දේශපාලනික, ආර්ථික ප්‍රශ්න වෙනුවෙන් තම පක්ෂය ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය .

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කර සිටියේ අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

විශේෂයෙන්ම අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර සම්බන්ධතාවය පිළිබඳව. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇගේ ධූර කාලය තුළ අපේ රටේ තිබුන හොඳම විදේශ ප්‍රතිපත්ති පැවතුනු කාලය. මුළු ලෝකෙන්ම අපිට උදව් උපකාර ලැබුණා. සුළු පරිමාණ, මහා පරිමාණ සෑම දේකටම සහයෝගය ලැබුණා. 2015 සිට 2019 වන තෙක් මාගේ කාලය තුළ දී වෙනත් නායකයන්ට වඩා ජාත්‍යන්තර සබඳතා තර කර ගැනීමට මා කටයුතු කරා.

ලෝකයේ හැම රටක්ම අපිට ඕනේ. ඇමෙරිකාවත් ඕනේ, එංගලන්තයත් ඕනේ, ජර්මනියත් ඕනේ, පිලිපීනය ඕනේ, ඉන්දියාවත් ඕනේ, චීනෙත් අපිට ඕනේ. ලෝකේ හැම රටක්ම අපිට අවශ්‍යයි. ඉන්දියාව අපේ දීර්ඝකාලීන මිත්‍රයෙක්. බුදුදහම පැමිණුනු දා සිට ඉන්දියාව අපේ මිත්‍රයෙක්. අපිට ගොඩක් උදව් කරා ඉන්දියාව හැම ප්‍රශ්නයකදීම ඉන්දියාව අපේ ලඟින් හිටියා. එල්ටීටීඊ යුද්ධය කාලේ ඉන්දියාව ගොඩක් අපට උදව් කරා.

චීනයත් ඒ වගේමයි චීනයත් දීර්ඝකාලීන අපේ මිත්‍රයෙක්. හැම ප්‍රශ්නයකදීම චීනය අපි සමග හිටියා. කොරෝනා කාලයේදී. සෑම කාලයකදීම චීනය අපිට උදව් කරා.ඒ කියන්නේ දීර්ඝකාලීන මිත්‍රයෙක්. චීනයේ අධිතාක්ෂණික නෞකාවක් ලංකාවට ඒමට තිබෙනවා. මෙම නෞකාවේ දෙදහක් පමණ කාර්ය මණ්ඩලයක් සිටිනවා. ඒ අයට ආහාර පාන ලබාදිය යුතුයි.

එම නිසා එම නෞකාව බරපතළ අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යවරයා වත් නොදැනුවත්ව මෙම ප්‍රශ්නය නිර්මාණය කරලා තියෙන්නේ.

අධිතාක්ෂණික උපකරණ වලින් යූවාන් වෑන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රී ලංකා රජයෙන් අවසර ඉල්ලන්නේ 2022 ජුනි මස 28 වෙනිදා. ශ්‍රී ලංකා රජය එයට අවසර ලබා දෙන්නේ 2022 ජුලි මස 12 වෙනිදා. මේ අනුව චීනයෙන් මෙම නෞකාව ජූලි මස 14 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට පිටත් වෙනවා.

2022 අගෝස්තු මස 08 (පෙරේදා) නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට චීන තානාපති කාර්‍යාලයට දැනුම් දී තිබෙනවා නෞකාවේ ගමන ප්‍රමාද කරන ලෙසට. මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට බලාපොරොත්තු වෙන්නේ අගෝස්තු මස 11 වැනිදා. චීනයේ සිට මහ මුහුදේ දින 24 ගිය පසුව නැවට එන්න එපා කියලා ශ්‍රී ලංකා රජය දැනුම් දෙනවා. ඒ වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට දින තුනක් පමණයි ඉතිරිව තිබුණේ.

මෙම නැවට අගෝස්තු 15වන දිනෙන් පසුව මෙරටට පැමිනෙන ලෙස වාචිකව විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට චීන තානාපති කාර්‍යාලයට දැනුම් දී තිබේ.

එපමණක් නොව පාකිස්ථානයේ යුද නෞකාවක් වන PNS ටයි මූර් නෞකාව සිය මංගල ගමනේ එක් නැවතුම් පොළක් ලෙස අගෝස්තු 12 වෙනිදා කොළඹ වරායට පැමිණීමට නියමිතයි. මෙම නෞකාවත් චීනයේ නිෂ්පාදිත නෞකාවක්. මෙම නෞකාව කොළඹ වරායට පැමිණෙන්නේ චීනයේ සිටයි.

පාකිස්තාන නෞකාවට කිසිදු බලපෑමක් නොකිරීමටත්, චීන නෞකාවට පැමිණීම ප්‍රමාද කරන ලෙසත් දැන්වීම රටවල් අතර තවත් රටක් හෑල්ලුවට ලක්කරීමක් නෙවෙයිද? 11 සහ 12 පැමිණීමට නියමිත නෞකා දෙකම චීනයේ නිෂ්පාදිත නෞකාවන්.

ජූනි මාසය මුලදී රුසියානු ගුවන් සමාගමට අයත් එරෝෆ්ලෝට් ගුවන් යානයක් අධිකරණ නියෝගයක් අනුව ශ්‍රී ලංකාවේ රඳවා ගැනීම මත රුසියාව සමග තිබූ සබඳතාවය පළුදු වුණා.

මෙම ප්‍රශ්නයට මා මැදිහත්වී ජුනි මස 05 වන දින රුසියානු ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඉල්ලීමක් කරා ශ්‍රී ලංකාවට රුසියානු ගුවන් යානා පැමිණීම අත්හිටවීමේ නියෝගය ඉවත්කරන ලෙස. රුසියානු ජනාධිපතිවරයා කඩිනමින් එයට පිළිතුරු එවා තිබුණා. එහි ඇතුලත් කොන්දේසි මාධ්‍යයට හෙළි නොකර එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව මා විසින් එය බාර දෙන ලදී.

2015දී මා ජනාධිපති වන කාලවකවානුවේදී ජාත්‍යන්තර සබඳතා ඉතාමත් පහළ මට්ටමකට වැටී තිබුණා. විවිධ මට්ටමේ සම්බාධක අපේ රටට පැනවී තිබුණා GSP ප්ලස් බදු සහනය අහිමි වී තිබුණා.

යුරෝපයට මත්ස්‍ය අපනයනය සම්පූර්ණයෙන් නැවතී තිබුනා.

ත්‍රිවිධ හමුදාවට සමහර රටවල යුද පුහුණුව සහ අධ්‍යාපනය තහනම් වී තිබුණා.
රාජ්‍ය නායකයන්ට විදේශ රටවලට ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයක තිබුනේ. හමුදා නිලධාරීන්ට ලෝකයේ ප්‍රධාන රටවලට ඇතුල්වමට විසා බලපත්‍ර නොලැබීමේ තත්වයක රට තිබුණේ.

මම සම්පූර්ණයෙන්ම එම තත්ත්වය වෙනස් කරමින් මේ රටට නැවතත් ලෝකේ පිළිගත හැකි රාජ්‍යයක් බවට පත්කරා. එංගලන්තේ බකිංහැම් මාලිගය ද, ඇමරිකාවේ ධවල මන්දිරය ද, රුසියාවේ ට්‍රිම්ලිනයද, චීන ජපාන කොරියා ජර්මනිය ඉන්දියාව ඇතුළු මුළු ලෝකයේම සියලු මහාද්වීප ආවරණය වන පරිදි මේ රටේ මිනිසුන්ට පිළිගැනීම නැවත මා ඇති කරා. නමුත් 2019න් පසු බොහෝ රටවල් අපෙන් ඈත් වුණා.

දමිළ ඩයස්පෝරාවේ අය හට පසුගිය කාලයේ මෙරට ආයෝජණය කිරීමට හිටපු ජනාධිපතිවරයා ආරාධනා කලත්, හිටපු ජනාධිපතිතුමා ධූර කාලය තුල එකඳු දිනයක්වත් යාපනය අර්ධත්වීපයට ගියේ නැත.

පළමුව ජපාන මොනෝරේල් ව්‍යාපෘතිය නතර කිරීමෙන් ජපානය අපට අහිමි වුණා.

කොරෝනා වැළඳී මිය යන පුද්ගලයන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භුමදානය කිරීමට අවසර ලබාදී තිබියදී පටු දේශපාලන වුවමනාවන් මත ලෝකයේ බොහෝ රටවල් භූමදානය සිදුකරද්දී එයට ඉඩ නොදී මුස්ලිම් රටවල් බොහොමයක් අපි තරහා කර ගත්තා. අඩුමගානේ එයට අවසරදී එලෙස විය යුතුයි කියා ශ්‍රී ලංකාවේ කෙනෙක් කතා කරන්නත් බය උනා. ඒ මොහොතේ මම පමණයි මුස්ලිම් ජනතාවට එම අයිතිය දිය යුතුයි කියලා කතාකල එකම සිංහල නායකයා. මාස ගණනකට පසු මානව හිමිකම් කවුන්සිලයෙන් ප්‍රශ්න ඇතිවෙයි යන බිය මත අවසර ලබා දුන්නා. ඒ වෙන විට වෙන්න ඕන ටික සිදු වෙලා අවසන්.

කටාර් රාජ්‍යයේන් මෙරට දරුවන්ට ආධාර කිරීමට ස්ථාපිත කර තිබූ අරමුදල තහනම් කිරීමෙන් එම රාජ්‍යයත් අපට නැති කරගත්තා. එම අරමුදල නැවත විවෘත කෙරේ තෙල් ඉල්ලන්න මීට මාස කීපයකට කලින් අපේ දූත පිරිසක් එහි ගිය අවස්ථාවේ ඔවුන් කළ ඉල්ලීමකට අනුවයි.

රුසියාවේ හොඳ හිත පළුඳු කරගත්තා. චීනයේ හොඳ හිත දැන් නැති කරගන්නවා. 2019 සිට මේ දක්වා මෙරටට විදෙස් රාජ්‍ය නායකයෝ කීදෙනෙක් පැමිණියාද? අසල්වැසි ලගම මිතුරා ඉන්දියාවේ රාජ්‍ය නායකයා වන නරේන්ද්‍ර මෝදි මහතා වත් මෙරටට පැමිණියේ නෑ. නරේන්ද්‍ර මෝදි ජනාධිපතිතුමා මගේ කාලය තුළදී 4 වතාවක් මෙරටට පැමිණියා. වතුකරයේ ජනතාවට නිවාස පනස් දහසක් ලබාදීමට කටයුතු කරා. සුවසැරිය ගිලන් රථ සේවය ලබා දුන්නා. තවත් ආධාර රාශියක් ලබා දුන්නා.

චීනයෙන් ආනයනය කරන ලද චින්දාවෝ බයෝටෙක් සමාගමට අයත් කාබනික පොහොර ප්‍රතික්ෂේප වීම හා එම පොහොර ප්‍රවාහනය කල හිපෝ ස්පිරිට් නෞකාවට වන්දි ගෙවීම් වැනි කාරණා නිසාවෙන් චීනයේ හොද හිත තවදුරටත් පළුඳු විය.

එයින් වුණු භයානකම පාඩුව නම් මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකුවක් ජාත්‍යන්තරයේ අසාදු ලේඛණගත වීමයි.

චීන ජනාධිපතිතුමා සී ජිං පින් මහතා දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල මෙරටට ත්‍යාග කලා. ශ්‍රී ලංකා පොලිසියට ජීප් රථ 250ක් පරිත්‍යාග කරා. මම බලයේ සිටිද්දී එයින් ජීප් රථ 100ක් ලබාගත්තා. ඉතුරු රථ150ක් ලබා ගැනීමට මගෙන් පසුව බිහිවූ ගෝඨාභය රාජපක්ෂ රජයට හැකි වුණේ නැහැ.

2018දී ඇතිවූ පොහොර ප්‍රශ්නයේදී පාකිස්තානයේ ජනාධිපතිතුමා සතියෙන් පොහෙර නැවක් එවලා පොහොර ප්‍රශ්නය විසඳන්න උදව් කළා. එහෙම බැඳීමක් අපට තිබුණා.

ඉන්දියාවෙන් මෙරටට තෛභාෂා පුහුණු පාසලක් පරිත්‍යාගයක් ලෙස ලැබුණා.

නෙදර්ලන්ත රජයෙන් තාක්ෂණික පුහුණු පාසලක් පරිත්‍යාගයක් ලෙස ලැබුණා. එහි වැඩ තවමත් අවසන්ව නැත.

කටාර් රාජ්‍යයත්, ඉරාන රාජයාත් බොහොම ළඟින් අපට උදව් කළා. මුස්ලිම් රටවල් බොහොමයක් ගෙවුණු වසර දෙකේදී අපි නැවතත් ඈත් කරාගත්තා.

ඇමරිකාව,ජපානය,පිලිපීනය,කොරියාව,එංගලන්තය,පකිස්තානය,ජර්මනිය වගේ හැම රටක්ම මගේ කාලේදී අපට ආධාර දුන්නා.

මෙරට පවතින විදේශ තානාපති කාර්යාලයන්ගෙන් ප්‍රධාන කිහිපයක්ම මෙරටින් ඉවත්ව යෑමේ අවධානමක් මේ වන විට ඇතිව තිබේ.

නැවතත් මුල සිට ජාත්‍යන්තර සබඳතා ගැන සිතා බලන්නට කාලය එළබ ඇත. නිසියාකාරයෙන් ජාත්‍යන්තර සබඳතා අප කළමනාකරණය නොකර ගතහොත් ඉතාමත් නරක තැනකට මේ රට පත්වනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව, යුරෝපා සංගමය සහ ලෝකයේ සියලු රටවල් සමඟ හොඳ හිත තබා ගත්තේ නැත්නම් ස්ථීර වශයෙන්ම අපේ රටට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාවක් නැහැ. සියලු රටවල් සමඟ ඉතා මිත්‍රශීලීව කටයුතු කරගත යුතුයි. මේ මොහොතේ ජාත්‍යන්තර සබඳතාව අතිශයින්ම වැදගත් වෙනවා. වහාම විදේශ රටවල් අපේ රට සමඟ ඈත්වෙන වැඩ කටයුතු වළක්වාගත යුතුයි.