තරු මිසිං වූ රෑ : ගෝල්ෆේස්වල ඇත්තටම මොකද වුණේ ?

තරු මිසිං වූ රෑ : ගෝල්ෆේස්වල ඇත්තටම මොකද වුණේ ?

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගල භූමියට අද (22) අළුයම ආරක්ෂක අංශ විසින් මෙහෙයුමක් සිදු කරද්දී එම අරගලයේ ප්‍රධානීන් ලෙස කටයුතු කල සමාජ ජාල ක්‍රියාකාරීන්, නළුනිළියන් හෝ දේශපාලන පක්‍ෂ සංවිධායකයන් රැඳී සිට නැතිවීම සම්බන්ධයෙන් සැකසංකා මතුව තිබේ.

ආරක්ෂක අංශ විසින් එල්ල කරන ප්‍රහාරයකට ලක්ව සිටින අය අතර අරගලයේ නායකයින් සිටින්නේ ඉතාම සීමිත පිරිසකි.

අන් සියලු දෙනාම ඒ මොහොතේ අරගල භූමියේ රැඳී සිට නැත.

මේ අතර සිදුවූ දේ සවිස්තරාත්මක විදියට මෙසේයි.

ගෝල්ෆේස්වල ඇත්තටම මොකද වුණේ?

ගෝල්ෆේස් අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයෙ (21) ගෝල්ෆේස් අරගල භූමියේ මාධ්‍ය කුටියේදී පවත්වා ඇත.

එහිදී බහුතර පාර්ශවයක් පවසා ඇත්තේ දැනට අරගලකරුවන් අල්ලාගෙන සිටින ජනාධිපති කාර්යාලය වහාම භාරදිය යුතු බවත් ජනාධිපති කාර්‍යාලයේ කටයුතුවලට බාධාවක් නොවන පරිදි අරගලභූමිය ගෝඨා ගෝ ගම පිහිටා ඇති උද්ඝෝෂණ ස්ථානයට සීමා වියයුතු බවත් ය.

එමෙන්ම අලුත් ජනතාවක් පත්කරගැනීමට ජනතාවට අධ්‍යාපනය ලබා දෙන දේශපාලන සරසවියක් බවට අරගලභූමිය පත්කළ යුතු බව ට ද මතයක් ඉදිරිපත් ව ඇත. කෙසේ වෙතත් පොදු මතය වී ඇත්තේ අද (22) සවස 2 ට ගොඩනැගිල්ල භාර දීමටයි.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණ කණ්ඩායම එම යෝජනාව ස්ථිර කර ඇත.

ඔවුන්ගේ මතය වී ඇත්තේ වහාම පරිශ්‍රය භාර දිය යුතු බවයි. හෙට දිනය දක්වා කල්දැමීම අහේතුක බවත් හදිසියේවත් අද රාත්‍රියේ මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වුවහොත් ජයග්‍රාගීව ගොඩනැගිල්ල බාරදීමට නොහැකිවන බවත් ඔවුන් පෙන්වා දී ඇත.

එහෙත් පසුගිය දා ජාතික රූපවාහිනියට කඩා වැදුණු පිරිසේ මතය අත හරිනවා නම් අතහැරිය හැක්කේ 22 වන දිනයේ බවත් එයත් පාර්ටියක් දාමා dj එකක් ජනාධිපති කාර්යාලය තුළ පැවැත්වීමෙන් අනතුරුව බවත්ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් අත හරිනවා නම් මාධ්‍ය හමුවක් පවත්වා සැමරුමක් කර බාර දිය යුතුය යන ස්ථාවරයේ සිට ඇති අතර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ඉදිකර ඇති හට් දැන්ම ඉවත්කර නොගත යුතුය යන ස්ථාවරයේ සිට ඇත.

එමෙන්ම පැරණි වාමාංශික සාමජිකයකු සහ තවත් සාමාජිකාවක දැඩි අදහස් දක්වමින් මෙය භාරදියයුතු නැති බවත් රනිල් එළවන තුරු අල්ලාගෙන සිටිය යුතු බවත් ප්‍රකාශ කර ඇති අතර ජනාධිපති කාර්යාලය දැන් අරගල කරුවන් විසින් පාලනය කිරීම භාරගත යුතු බවත් එය ගිණි තැබුවත් කිසිවෙකුට වගකීමක් අවශ්‍ය නැති බවටත් දරුණු අදහස් ඉදිරිපත් කල බවට බුද්ධි අංශ වෙත වාර්තා වී තිබී ඇත.

මේ තත්ත්වය මත වහාම බුද්ධි අංශ මැදිහත්ව අධිකරණ නියෝගය ප්‍රකාරව ලේකම් කාර්යාලය අත්පත් කරගන්නා ලෙසට ආරක්ෂක අංශ වෙත නිර්දේශ කර ඇත.

ඒ අනුව මන්දිරය අත්පත් කරගැනීමට පැමිණි ආරක්ෂක අංශ අරගලකරුවන්ට ඉවත්ව යන ලෙස නියෝග කිරීමත් සමග ඔවුන් දැඩි ස්වරූපයකින් එය ප්‍රතික්ෂේප කරමින් හෙට සවස 2 වනතෙක් එය භාර දිය නොහැකි බව ප්‍රකාශ කර ඇත.

මේ තත්ත්වය මත ඇති වූ ආතතිය නිසා අවසනයේ අරගලකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් උද්ගතවූ අතර අරගලකරුවන් අතර සිටි ජාතික රූපවාහිනියට කඩා වැදුණු පිරිස ආරක්ෂක අංශ වලට අපහාසකරමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදීමත් සමඟ තත්ත්වය තවත් අයහපත් අතට හැරී ඇත.

අරගලකරුවන් අතර සිටි ජාතික රූපවාහිනියට කඩා වැදුණු ra.... g ... නැමැත්තා සහ Dha.. A.. නැමැත්තා බීමතින් සිටි බවට වාර්තා වන අතර ඔවුන් පොලිසියේ ඉල්ලීම අවඥාවට ලක් කරමින් ලේකම් කාර්‍යාලීය පඩිපෙළ මත ගීත ගයමින් නටමින් විනෝද වීම අරඹා ඇත.

මේ තත්වය මත තවත් අයහපත් අතට හැරුණු ආරක්ෂක අංශ සහ අරගල කරුවන් අතර සංනිවේදනය වඩවඩාත් ආතතියක් ජනනය කරමින් ඉදිරියට ගොස් ඇත.

සිදුවූ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් අප හා අදහස් බෙදාගත් ආරක්ෂක අංශ සාමජිකයින් ප්‍රකාශ කරන් ලද්දේ 'අවසානයේ මිනිස් පවුරක් ලෙසින් ඉදිරියට පැමිණි ආරක්ෂක අංශ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ප්‍රදේශය මුදාගත් බවත් ගෝඨා ගෝ ගම පරිශ්‍රයට කිසිඳු හානියක් නොකල බවත් ය'

එසේම එම ක්‍රියාවලියට බාධා කරමින් ගැටුමක් ඇතිකරගැනීමට උත්සහ කරන ලද අරගලකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් අරගලකරුවන් සහ ආරක්ෂක අංශ අතර අනවශ්‍ය ආතතියක් ඇතිකරමින් දේශපාලන වාසි ලබාගැනීමට වෙර දරන කල්ලි කණ්ඩායම් ගැන ජනතාව අවදියෙන් සිටිය යුතු බව දේශපාලන විශ්ලේශකයින් පෙන්වාදේ.

(ගෝල්ෆේස් සිදුවීම සම්බන්ධව ආරක්ෂක අංශ සාමජිකයකයන් සහ අරගලභූමියේ ක්‍රියාකාරිකයින් විසින් ලබාදුන් තොරතුරු ඇසුරින්..)

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න