Language Switcher

V2025

රනිල් මුදල් ඇමති කළ : කොහෙවත් නොගිය තිරය පිටුපස කතාව !

මුදල් ,ආර්ථික ස්ථායිතා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (25) දිවුරුම් දුන්නේ ය.

කොටුව ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි

මුදල් ඇමති රනිල්ට දෙන්න : දෙස් විදෙස් බලපෑම් !

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ ආකාරයට මුදල් අමාත්‍ය ධූරයෙ දිවුරුම් දුන්නත් එය "මාර පරාජයකට " නොදෙවෙනි වූ බවයි .

ඒ සම්බන්ධ තොරතුරු මෙසේය .

ආර්ථික අර්බුදය , මේ වෙනකොට දේශපාලන අර්බුදයක් බවට පත්වුණා . ඒ නිසා තමයි අරගල භූමියෙන් පවා , තෙල් ගෑස් හාල් වෙනුවට , ගෝඨාගෝගම , මයිනාගෝගම හැදෙන්නේ .

තනි ආසනයේ අගමැති !

කොහොම නමුත් මේ වෙනකොට තවමත් පෝලිම් වල ඉවරයක් නෑ . කවදාවත් නැතුව මධ්‍යම පංතිය පාරට බැස්සේ ආර්ථික හේතු නිසා මිසක් දේශපාලන හේතු නිසා නෙවෙයි . තෙල් ගෑස් කිරිපිටි වල ඉඉඳලා දෛනික ජීවිතය අවුල් වුනේ මධ්‍යම පංතියේ . තට්ටු නිවාස වල ගෑස් නැතුව භූමිතෙල් වෙනුවෙන් පෝලිමේ ඉන්නේ අදටත් වැඩිපුරම මධ්‍යම පංතිය. එහෙම නොවෙන්න ලංකාව වගේ රටක කොහොමද මෙහෙම පොදුජන අරගලයක් දියත් වෙන්නේ. කොච්චර කවුරු තිත්තයි කිව්වත් ඇත්ත ඒකයි.

ඒ නිසාම තමයි , තනි ආසනයක් එක්ක පාර්ලිමේන්තු ආව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වෙන්නේ .

පොහොට්ටු ආණ්ඩුවේ මුලින්ම මුදල් ඇමති වෙන්නේ රට දිනුවා කියපු මහින්ද අප්පච්චි. අප්පච්චි අවුල් කියලා මොළ හතයි කියලා බැසිල්ට තැන එන්නේ , ආර්ථික අර්බුදය ඉස්මුරුත්තාවට ගිය නිසා. මැරයන් දාලා ගහලා ඒත් අරගලය මොට කරන්න බැරි වුණ තැන මහින්ද රිටයර්ඩ් වෙනවා. මොළ හතේ මුදල් ඇමති බැසිල් නිකම්ම ගෙදර යනවා.

සජිත් අනුර පසු පාදයේ ආරක්ෂක පියවර !

එතනදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට ආණ්ඩුවක් හදන්න එන්න කියනවා. ඒත් දේශපාලන නැකත් පත්‍ර අනුව ඒ වෙලාවේ ආණ්ඩුව ගන්නවා කියන්නේ දැලිපිහියෙන් කිරි කෑමක්. ඒ නිසා සජිත් කොන්දේසි නහුතයක් දාලා අඩිය පස්සට ගන්නවා . ජාතික ජනබලවේගය පක්ෂයේ අනුරත්, ජනාධිපති ඉන්නකං බෑ කියලා , ස්ටෙප් ඩවුන් යනවා.

රට අරාජික වෙනවා. අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයක් නැතුව දින ගණන් ගෙවෙනවා. හමුදා පාලනයක් ගැන දෙස් විදෙස් මත පළවෙනවා. ලෝක බලවතුන් ලංකාව දිහා බලලා පොලු අතට ගන්නවා.

අන්තිමට ජනාධිපති ගෝඨාභය දන්න කියන උපදේශකයන් වගේම අවසන් තුරුම්පුව කියලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට ආරාධනා කරනවා ආණ්ඩුව බාරගන්න කියලා .

රනිල් තමයි ඒ අභියෝගය ගන්නේ . පතුලක් නොපෙනෙන අර්බුදය විසඳීමට අවශ්‍ය දැනුම තිබුණට රනිල්ට ටීම් එකක් නෑ . මොකද එජාපයෙන් ඉන්නේ රනිල් විතරයි . අභියෝගය සුලුපටු නොවෙන්නේ රනිල් අගමැති වුන ගමන් සජිත් අගමැති ධූරය ඉල්ලා නාහෙන් අඬන්න ගැනීමත් එක්ක.

කොහොම නමුත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය විදිහට ප්‍රසිද්ධියේ කියන්නේ , තමන් ආවේ ආර්ථිකය හදන්න කියලා . රනිල් ඇහින්දාස් ටීම් එකක් එක්ක තමයි මේකට බහින්නේ . 

දැන් රනිල් අගමැති තමයි . හැබැයි ප්‍රශ්නයක් තියෙනවා . ඒ තමයි දැන් අමාත්‍ය ධූර පත්කරමින් ගියත්, රනිල්ට රට හදන්න සහය දෙන්න කියලා හරීන්ලා, මනූෂලා, ජීවන්ලා තමන්ගේ දේශපාලන අනාගතය පරදු තිබ්බත්, තවමත් රනිල් - ගෝඨා ආණ්ඩුවට මුදල් අමාත්‍යවරයකු නෑ .

කඩ්ඩ හොඳ වුණාට විෂය බෑ : විෂය දන්නවට කඩ්ඩ බෑ !

ඒ කියන්නේ ඕනම එක හැර අනිත් සේරම වගේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අමාත්‍ය ධූර අරගෙන . ඒත් මුදල් ඇමති කෝ ?

මේක දේශීය විදේශීය ව්‍යාපාරික ප්‍රජාවෙ ඉඳලා ණය දෙන, ණය දුන්න, ඉස්සරහට දෙන්න සූදානම්ව ඉන්න කාටත් ප්‍රශ්නයක් වෙල තිබුණේ .

ඔය අස්සේ මුලින්ම ආව ආරංචිය තමයි බැසිල්ගේ හොල්මන් ආණ්ඩුව අස්සෙ ඇවිත් , මුදල් ඇමති ධූරය පොදුජන පෙරමුණේ නමට ගන්න ගිය බව .

කපුටාස් ඇටෑක් !

ඉතිං බැසිල්ගේ හොල්මන ගෝඨාභය රනිල් ආණ්ඩුව අස්සේ දුවන්න ගන්නවා. මුලින්ම යෝජනා වෙන්නේ කෙහෙලිය රඹුක්වැල්ල ව. ඒ කියන්නේ වත්මන් සෞඛ්‍ය ඇමති . හැබැයි කෙහෙලිය නෙවෙයි වැඩේට හරියන්නේ . දෙස් විදෙස් කවුරුත් කෙහෙලිය ව මුදල් ඇමති විදිහට පිළිගන්නේ නෑ .

මොකද කඩ්ඩ හොඳ වුණාට කෙහෙලිය සබ්ජෙක්ට් එක දන්නේ නෑ . හැබැයි බැසිල්ගේ අවතාරය එතනින් නැවතුනේ නෑ . සබ්ජෙක්ට් අවුල් කෙහෙලිය වෙනුවට ආර්ථික සබ්ජෙක්ට් එක දන්න කිහිපදෙනෙකු දාන්න බැලුවා . ඒත් එයාලගේ කඩ්ඩ, ඒ කියන්නේ ජාත්‍යන්තරය එක්ක ගනුදෙනුව බේරගන්න කඩ්ඩ බෑ. ඒ කියන්නේ බැසිල්ගේ අවුලම තමයි .

ඒ නිසා ආයෙත් හිටපු මුදල් ඇමති අලිසබ්‍රි ගේ නම යෝජනා වෙනවා. ඒත් ප්‍රශ්නයක්. ගේ ගිනි තිබ්බා කියලා ආය පාර්ලිමේන්තුව පැත්තේ එන්නේ නෑ කියලා , බොහොම හැඟීම්බර වුණ අලිසබ්‍රි දැන් පරක්කු වැඩියි කියලා තමයි දෙස් විදෙස් ව්‍යාපාරික , ආයෝජක සහ සංවිධාන වල මතය වෙන්නේ .

හර්ෂ සහ ඉරාන් ආසයි : සජිත් බයයි !

දැන් එතකොට කවුද මුදල් ඇමති ? ඇත්තම කතාව තමයි ලංකාවේ මිනිස්සු බලාගෙන හිටියා රනිල් වික්‍රමසිංහ අරගත්තු අභියෝගයට සහය දෙන්න ආචාර්ය හර්ෂ ද සිල්වා එයි කියලා . හැබැයි සජිත් විරුද්ධයි . ඒ නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් එනතුරු බෑ කියලා හර්ෂ අභියෝගය බාරගත්තෙ නෑ . ඊළඟට මිනිස්සු හිතුවා ඉරාන් වික්‍රමරත්න එයි කියලා . එයත් සජිත් නිසා ආවේ නෑ . ඔය අස්සේ චම්පිකගේ නමත් කරළියට ආවා. ඒත් තවම චම්පික හරියට ස්ථාවරය කියලා නෑ .

ඒත් මේ වෙනකොට රනිල් - ගෝඨා ආණ්ඩුවට තවම මුදල් අමාත්‍යවරයෙක් නෑ . ඒ කියන්නේ මේ ආණ්ඩුව දැන් තියෙන්නේ මනමාලි නැති මගුල් ගෙදරක් වගේ . නැත්නම් මනමාලයා නැති මගුල් ගෙදරක් වගේ .

දැන් කොහොමද රනිල් - ගෝඨා දීගය ඉස්සරහට යන්නේ ? කවුද විෂය වගේම භාෂාවත් දන්න ඒ, විශේෂ ප්‍රාගුණ්‍ය තියෙන නායකයා . ආරංචි විදිහට මේ ආණ්ඩුවේ මුදල් ඇමති වෙන්න යන්නේ රනිල් . රාජතාන්ත්‍රිකයන් සමග හරි හරියට හැප්පිලා, සාකච්ඡා කරලා, අදහස් යෝජනා වගේම , විකල්ප ඉදිරිපත් කරලා , රට අර්බුදයෙන් ගලවලා ගන්න ඒ වගකීමත් රනිල්ට එන්නේ .

දෙස් විදෙස් තේරීම : රනිල් !

බැසිල් කොච්චර කොකු දැම්මත්, මේ වෙනකොට ජනාධිපතිටත් , සුදුස්සා කවුද කියලා , දේශීය ව්‍යාපාරික ප්‍රජාව වගේම , ජාත්‍යන්තර පවා තෝරලා තියෙන්නේ රනිල් කියලා තමයි කියන්නේ . ඒ නිසා රනිල් මේ ආණ්ඩුවේ මුදල් ඇමති වුණාට කවුරුත් පුදුම වෙන්න දෙයක් නෑ .

ඒ වගේම ලියන්න බැරි ගොඩක් තොරතුරු එක්ක පොඩි ටිප් එකක් දෙන්නම්. එජාප ක්‍රියාකාරීන් ඊයේ (24) සෝෂල් මීඩියා වල දාපු පෝස්ට් බලන්න . අගමැති ධූරය අත්හැර හෝ බැසිල් දමනය ජනතාවට දෙන්න කියලා තමයි ඒ පෝස්ට් ගියේ.

රාජපක්ෂ රනිල් ඩීල් නම් එහෙම පෝස්ට් වැටෙන්න විදිහක් නෑ .

ඒකයි කියන්නේ රනිල් මුදල් ඇමති වීම මාර පරාජය තරම් දුෂ්කර තත්ත්වයක් වුන බවත් අමතක කරන්න නරකයි. ඒ නිසාම තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ එක්ක එක විට දේශපාලන සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ ප්‍රතිසංස්කරණ ඉස්සරහට ගන්න ඕන .ඕක රනිල්ට අමතක වුණත්, ජනතාව අමතක කරන්න නරකයි .