ශ්‍රී ලංකා ගුවන් හමුදාවට “මිග්” ප්‍රහාරක යානා හතරක් මිලදි ගැනීමේදී අතරමැදියන් ලෙස කටයුතු කළ බව කියන නමෙන් යුතු සමාගමක් මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර තිබී නැති බව වාර්තා වෙයි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පසුගියදා අධිකරණය හමුවේ මේ බව අනාවරණය කර තිබෙන අතර අදාළ ගනුදෙනුව හරහා රුපියල් එකසිය පන් කෝටි අසූ අටලක්ෂ පනස් අටදහස් තුන්සිය විස්සක් (රු. 1,058,858,320) වංචා කර ඇති බවද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දී ඇත.
අදාළ මිග් යානා මිලදී ගෙන ඇත්තේ 2006 ජූලි 26 වැනි දින ජාත්‍යන්තර සමාගමක් සමඟ ඇති කර ගන්නා ලද ගිවිසුමක් අනුව බවත් අනාවරණය වී ඇති අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා වූ උදයාංග වීරතුංග මෙම නඩුවේ චුදිතයකුව සිටියි.
මේ දක්වා කරන ලද පරීක්ෂණ පිළිබඳ විස්තරයක් විමර්ශකයන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර ඊට අනුව මිග් ප්‍රහාරක යානා 04 මිලදි ගැනීම සඳහා ඩොලර් එක්කෝටි පනස් ලක්ෂ හැටපන්දහස් හාරසිය තිස්හතක් (ඩොලර් 15,565,437) පමණ මුදලක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ‘බෙලිමිසා හෝල්ඩිංස්’ නම් සමාගමට ගෙවා ඇත.
මෙම ගනුදෙනුව සම්බන්ධව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙතද චෝදනා එල්ලවී තිබේ.
කෙසේ නමුත් දිගින් දිගටම විදේශගතව සිට නිවේදන නිකුත් කරන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා වූ උදයාංග වීරතුංග සඳහන් කර සිටින්නේ තමන් වෙත එල්ලවී තිබෙන චෝදනා දේශපාලන පළිගැනීමක් බවත් අදාළ ගනුදෙනුව නීත්‍යානුකුල බවත්ය.

