Language Switcher

V2025

රට බංකොලොත් වෙන තැනක නෑ : ආර්ථික වර්ධනය ඉහළට - කබ්‍රාල්ගෙන් සහතිකයක් !

ඇතැම් පාර්ශ්වයන් පවසන ආකාරයට ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ ආසන්නයට පත්වී නැතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරයි.

මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟතාවයක් ඇති නොවන ලෙස කටයුතු කරන බවද පැවසූ ඒ මහතා සංචාරක කර්මාන්තය තවත් මාස දෙකකින් පමණක් හොඳ තැනකට එනු ඇති බවද පැවසීය.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාව පහත හෙළීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

මහ බැංකු අධිපති මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය 5.5%ක තෙක් ඉහල නගිනු ඇති බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.

“මෙතන වෙලා තියෙන්නේ සමහරක් ඉන්ටනෙට් එක බලන ආර්ථික විශේෂඥයින් පිරිසක් ඉන්නවා. ඒ ගොල්ලෝ ගණන් හදනවා. ගණන් හදලා කියනවා මේක නැහැ, මේක නැහැ කියලා. ඒ වුණාට ඒක කිරීම සඳහා මහ බැංකුවේ මුදල් අමාත්‍යාංශයේ දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ අයටත් ඔය ඉන්ටර්නෙට් එකේ පෙනෙන එක්ස්රේ එක පේනවා. අපි දන්නේ නැතුව නෙමෙයිනේ. බිලියන 6.9 ක් ගෙවන්න තියෙනවා කියලා අපි තේරුම් ගත්තාම අපි නිදා ගෙන ඉන්නේ නැහැ. ඒ ගොල්ලෝ එකපාරටම කියන්න පුළුවන් මෙන්න මෙච්චරක් තියෙනවා කියලා. ඒක අපිත් දන්නවා. දන්න නිසා ඒකට අවශ්‍ය වන කටයුතු කරගෙන යනවා. ඒ පිළියම් හරිගස්සගෙන යනවා. 2022 ජනවාරි 18 වෙනිදා ගෙවන්න තියෙනවා කිව්ව මිලියන 500 ගෙවන්න බැහැ කියලා ඉන්ටර්නෙට් කට්ටිය කිව්වා. දැන් අපි ගෙවනවා නේ. ඒකෙන්ම තේරෙනවානේ ඒගොල්ලොන්ගේ මතයෙයි ඇත්ත වශයෙන්ම කෙරෙන්න යන දේයි අතරේ ලොකු වෙනසක් තියෙනවා කියලා.

විවිධ පැතිවලින් මුදල් ලබා ගන්න අපි කටයුතු කරනවා. ඒ හරහා මේ ණය ගෙවීම සඳහා අවශ්‍ය කෙරෙන බිලියන 6.9 කර ගන්න පුළුවන්. ඒ සඳහා අපිට පිටට ගෙවන්න තියෙන මුදල් බිලියන 1.5 ක් පමණයි. ඒ තමයි ස්වෛරී බැඳුම්කරවලට අපි ගෙවන්නට බලාපොරොත්තු වන මුදල. ඊට අමතරව දේශීය වශයෙන් බිලියන 2.5 ක් පමණ මුදලක්, එය අපට rollover කරගන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර rollover කරනවා වගේම ඕනම රටක ඒ විදියට rollover කරගන්න පුළුවන්. දැන් ඒක කරගෙන යනවා. ඒ නිසා එතන තියෙන අවදානම හුඟාක් අඩුයි. ඒ වගේම ජාත්‍යන්තර ආයතන සමඟ අපිට තිබෙන ගනුදෙනු හරහා ඒ ගෙවීම් කරන මුදල්වලට සාපේක්ෂව ඒ වගේම මුදලක් අපිට එන්නත් තියෙනවා. ඒ තුළත් අපිට තියෙන පීඩනය අඩුයි.

මේ රට බංකොලොත් වෙනවා කියන කතාව 2020 දීත් කිව්වා. 1970 දීත් කියලා තියෙනවා ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා කියලා. යම්කිසි කණ්ඩායමක් ඉන්නවා මේ රට අමාරු තත්ත්වයකට වැටෙනවා කියලා නිතර නිතර කියන. මෙතනදී බොහොම පැහැදිලිව කියන්නට අවශ්‍යයි, පසුගිය මාස 06 තුළ දී එක කණ්ඩායමක් කෑගගහා හිටියා අපේ රටේ තියෙන සංචිත මදි, ඒ සංචිත මදිකම නිසා අපිට ණය ගෙවාගන්න බැරිවෙයි කියලා, 2022 ජනවාරි මාසයේ ගෙවන්න තියෙන මිලියන 500 අපිට ගෙවාගන්න බැරිවෙයි කියලා විවිධ කතන්දර කිව්වා. එහෙම කියද්දී අපි මොනවාද කිව්වේ. අපි කිව්වා අපි මේක ගෙවනවා, අපි බිලියන 3 ක් බවට අපේ සංචිත පත්කරගන්නවා කියලා පැහැදිලිව කිව්වා 2021 ඔක්තෝබර් මාසයේදී. මම හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා. අපේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය තබා ගෙන යන්න. තවදුරටත් මේකට අකුල් හෙළන්න එපා.“