රිෂාඩ් රඳවාගෙන සිටීම : අන්තර් පාර්ලිමේන්තු සංගමයේ අවධානයට !

 රිෂාඩ් රඳවාගෙන සිටීම : අන්තර් පාර්ලිමේන්තු සංගමයේ අවධානයට !

සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක සහ වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඩ් බදියුදීන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ අවධානය යොමු වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් 2021 අපේ‍්‍රල් 24 වෙනිදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඩ් බදියුදීන් මහතා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම පිළිබඳ පසුගිය නොවැම්බර් 30 වැනි දින මැඩ්රිඩ් හි පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 208 වැනි සැසිවාරයේ දී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. එම සාකච්ඡාවේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය එළැඹි තීරණ දෙසැම්බර් 16 දා ප‍්‍රකාශයට පත් කෙරින.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, පාස්කු ප‍්‍රහාරයට අනුබල දීම යටතේ රිෂාඩ් බදියුදීන් මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගත් නමුත්, මේ වන තෙක් ඒ සම්බන්දයෙන් කිසිදු සාක්ෂියක් ප‍්‍රසිද්ධ කර නැත. සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළේ යැයි කියන ඉන්සාෆ් අහමඞ් නැමැත්තා ට අයත්, ක්ලෝසස් පුද්ගලික සමාගමට තඹ ලබාදීම යන චෝදනාව ද, රිෂාඩ් බදියුදීන් මන්තී‍්‍රවරයා ට එල්ල කර තිබිණ. ක්ලෝසස් පුද්ගලික සමාගමට කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා තඹ ලබාදීම සඳහා රිෂාඩ් බදියුදීන්, විෂයබාර අමාත්‍යවරයා ලෙස විශේෂ මැදිහත්වීමක් කර ඇති බවට තොරතුරු අනාවරණය වී නැති බවද අන්තර් පාර්ලිමේන්තු සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

රිෂාඩ් බදියුදීන් මන්තී‍්‍රවරයාව අත්අඩංගුවට ගත් ආකාරය, ඉදිරිපත් කර ඇති චෝදනා ඇතුළු කරුණු කෙරෙහි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ විශේෂ අවධානයට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිෂාඩ් බදියුදීන් මන්තී‍්‍රවරයාව අත්අඩංගුවට ගැනීම පිළිබඳව අන්තර් පාර්ලිමේන්තු සංගමය කනස්සල්ල පළ කර සිටී.

රිෂාඩ් බදියුදීන් මන්තී‍්‍රවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම මන්දගාමී වීම පිළිබඳව, අන්තර් පාර්ලිමේන්තු සංගමය කනස්සල්ල පළ කරයි.

අත්අඩංගුවට ගෙන මාස 06ක් රඳවා තබා ගැනීමෙන් පසු කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දුන්නද, බදියුදීන් මන්තී‍්‍රවරයාව සැකකරුවෙක් කිරීම ට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට පරීක්ෂණ කණ්ඩායම් අසමත්වීම පිළිබඳව ද අන්තර් පාර්ලිමේන්තු සංගමය කනස්සල්ල පළ කරයි.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධන හෝ අහෝසි කිරීමකින් තොරව වර්තමාන ස්වරූපයෙන් කි‍්‍රයාත්මකවීම පිළිබඳව ද අන්තර් පාර්ලිමේන්තු සංගමය කනස්සල්ල පළ කරයි. සංශෝධනයට ලක් නොකර එකී පනත කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ සංවිධානය ද කනස්සල්ල පළ කරයි. එකී පනත සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම ට මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම පිළිබඳ ව ද අන්තර් පාර්ලිමේන්තු සංගමයේ අවධානයට යොමුව තිබේ.

එම පනත සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම පිළිබඳ ශී‍්‍ර ලංකා බලධාරීන්ගේ ප‍්‍රතිචාරයක් අපේක්ෂා කරන බවත්, බදියුදීන් මන්තී‍්‍රවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට පිළිගත හැකි සාක්ෂි තිබේනම්, එ් පිළිබඳව දැනුම් දෙන ලෙසත්, අන්තර් පාර්ලිමේන්තු සංගමය ඉල්ලා සිටී.

එල්කේආර් 77 ලෙස සඳහන් කර ඇති එකී තීරණය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු සහ නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන සියල්ල දැනුවත් කරන්නැයිද අන්තර් පාර්ලිමේන්තු සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න