Language Switcher

V2025

රටේ නීති ක්‍රියාවලිය විහිලුවක් කරලා - නීතිඥ ලාල් විජේනායක

එක රටක් එක නීතියක් කාර්යසාධන බලකායට ඥානසාර හිමියන් පත්කර තිබෙනවා. එම බලකායේ එක් කටයුත්තක් තමයි එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පතක් ඉදිරිපත් කිරීම. මේක පුදුම සහගත දෙයක්. ඥානසාර හාමුදුරුවෝ අධිකරණයට අපහාස කරලා සිරදඩුවම් නියම කරලා හිරේ ඉන්නකොට ජනාධිපති සමාවක් මත එළියට ආපු අයෙක්. එවැනි අයෙක් නීති සකස් කරන්න කමිටුවකට පත්කිරීම නීතිය හෑල්ලුවට, විහිළුවට ලක්කිරීමක්. නීතිය ජනතාවට එපාකරවන්න කරන වැඩක් කියලයි අපිට හිතෙන්නේ. එය තවත් බරපතල වන්නේ අධිකරණ ඇමති විසින් පත්කළ විශේෂඥ පිරිසක් කෙටුම්පතක් සකස් කර තිබියදී මේ පත්කිරීම සිදුකිරීමයි.” යැයි ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සාමාජික නීතිඥ ලාල් විජේනායක පවසයි.

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (06) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සාමාජික නීතිඥ ලාල් විජේනායක,

“අපේ රටේ ව්‍යවස්ථා සකස්වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙන යෑම සඳහායි. එවැනි පාලනයක් ගෙන යෑම සඳහා ස්වාධීන අධිකරණයක් අවශ්‍යයි. ස්වාධීන අධිකරණයක් සඳහා නීතියේ ආධිපත්‍ය තහවුරු විය යුතුයි. ඒ වගේම නීතියේ ආධිපත්‍ය තහවුරු වීමට ස්වාධීන අධිකරණයක් අවශ්‍යයි. ඒ සඳහා නීතියට සාධාරණත්වයට ගරුකරන පරිපාලනමය ක්‍රියාවලියක් සහිත ආයතනයක් අවශ්‍යයි.

පහු ගිය කාලයේ දීර්ඝ වශයෙන් විමර්ශන පවත්වා නඩු පැවරීම සඳහා වගකීම ඇති නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂට, කරන්නාගොඩගට, ප්‍රේමලාල් ජයසේකරකට බරපතල චෝදනා සහිත නඩු පවරලා තිබෙනවා. ඒ නඩු අධිකරණය ඉදිරියේදී ඔප්පු කරන්න පුළුවන් කියන විශ්වාසය සහිතව තමයි නීතිපතිවරයා මේ නඩු ගොනු කළේ. ඒ නඩු සියල්ල ගොනු කරලා තිබෙන්නේ දැන් ඉන්න අග්‍රවිනිස්චයකාරතුමා නීතිපතිව සිටියදීයි. ඒ නඩු අහන්න යනකොට දැන් ඉන්න නීතිපතිවරයා යටතේ නීතිපති දෙපර්තමේන්තුව නඩු ඉල්ලා අස්කර ගන්නවා. මේක මේක සම්පූර්ණයෙන්ම නීති පද්ධතියම විහිළුවට ලක්කිරීමක්. දේශපාලන බලපෑම් මත තමයි මේ නඩු ඉල්ලා අස්කර ගන්නට යන්නේ කියලා පැහැදිලියි. නීතිපති සහ නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලන බලයට යට කළොත් ඒ එටේ නීතියේ ආධිපත්‍යයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා මේක ඉතාම බරපතල ප්‍රශ්නයක් අපේ රටේ අනාගතයට. මේක අපි දැඩි ලෙස හෙලා දකිනවා. ඒ වගේම මේක වෙනස් කළ යුතුයි. නීතිඥ ප්‍රජාව වගේම ජනතාවත් මේකට විරුද්ධ විය යුතුයි.

ඒ වගේම තවත් බරපතල කාරණයක් තිබෙනවා. ඒ තමයි එක රටක් එක නීතියක් කාර්යසාධන බලකායට ඥානසාර හිමියන් පත්කර තිබෙනවා. එම බලකායේ එක් කටයුත්තක් තමයි එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පතක් ඉදිරිපත් කිරීම. මේක පුදුම සහගත දෙයක්. ඥානසාර හාමුදුරුවෝ අධිකරණයට අපහාස කරලා සිරදඩුවම් නියම කරලා හිරේ ඉන්නකොට ජනාධිපති සමාවක් මත එළියට ආපු අයෙක්. එවැනි අයෙක් නීති සකස් කරන්න කමිටුවකට පත්කිරීම නීතිය හෑල්ලුවට, විහිළුවට ලක්කිරීමක්. නීතිය ජනතාවට එපාකරවන්න කරන වැඩක් කියලයි අපිට හිතෙන්නේ. එය තවත් බරපතල වන්නේ අධිකරණ ඇමති විසින් පත්කළ විශේෂඥ පිරිසක් කෙටුම්පතක් සකස් කර තිබියදී මේ පත්කිරීම සිදුකිරීමයි. කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ බලය තිබෙන්නේ ඇමතිවරයාට. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුවයි නීතියක් බවට පත්වෙන්නේ. ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් මඟහැරලා. නීතිය විකෘති කරන ක්‍රමවේදයක්. මේ වගේ තීරණ ගැනීම අධිකරණ ඇමති අපහසුතාවයට පත්කිරීමක්. අධිකරණ ඇමතිට ආත්ම ගරුත්වයක් තිබෙනවානම් ඔහු තනතුරේ දිනක් හෝ නොසිටිය යුතුයි. ඒ නිසා අපි හිතන්නේ මෙය රට තුළ ආගම් බේදයක් ඇති කිරීමට ගන්නා පියවරක් හැටියටයි. ඒ නිසා නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කර ගැනීම රටේ ජනතාවගේ ප්‍රධාන අභියෝගයක් බවට පත්වෙලා තිබෙනවා. අපි මෙය ආරක්ෂා කර ගත්තේ නැත්නම් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න ඉඩක් නැතිවෙනවා.”