ගෑස් මිල ක්‍රමයට ඉන්ධන මිලත් ඉහළට ? IOC මිල වැඩි කරන්න ඉල්ලයි !

ගෑස් මිල ක්‍රමයට ඉන්ධන මිලත් ඉහළට ?  IOC මිල වැඩි කරන්න ඉල්ලයි !

තම බෙදුම්හල් මගින් බෙදාහරින ඉන්ධන වල මිල ඉහළ දැමීම සඳහා ලංකා ඉන්දීය තෙල් සමාගම රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඉල්ලීම වී ඇත්තේ , ඩීසල් ලීටරයකින් රුපියල් 25 ක් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 16ක් මිල ඉහළ දැමීමටය.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙරටද මිල ඉහළ දැමීමක් සිදු කළ යුතුව ඇති බව සඳහන් කරමිනි.

මෙරට ඉන්ධන අලෙවියෙන් සමාගම පාඩු ලබන බව සමාගම රජයට දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

දැන්ම වැඩි කරන්නේ නෑ ලු !

කෙසේ වුවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ ඉන්ධන මිල දැන්ම වැඩි නොකිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවය.

වාර්තා වන ආකාරයට ඊයේ (11) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇත.

ලෝක වෙලදපලේ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාම හා ඩොලරය ඉහල යාම නිසා තෙල් සංස්ථාව විශාල වශයෙන් අලාභ ලබන බව බලශක්ති අමාත්‍යවරයා එහිදී පවසා ඇති බවත් වාර්තා වෙයි.

ජනාධිපතිවරයා එහිදී පවසා ඇති ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන ලෙසයි.

ගෑස් ක්‍රමයට ඉන්ධන මිලත් !

ඉන්දීය තෙල් සමාගමේ සහ ආණ්ඩුවේ මේ හැසිරීම සිහිපත් කරන්නේ ගෑස් මිල ඉහළ දැමීමට දියත්වූ ක්‍රියාවලියයි.

එහිදී පළමුව රජයේ ලිට්‍රෝ සමාගම ලෝක වෙළඳ පොළ මිල අනුව මෙරට ගෑස් මිල ඉහළ නොදැමීම නිසා පාඩු බව පැවසීය.

ආණ්ඩුව එහිදී වැදගත් ප්‍රකාශයක් සිදුනොකළ අතර ජනතාව පීඩාවට පත්නොකරන කතා කිහිපයක් අසන්නට ලැබිණ. අනතුරුව ලාෆ් සමාගම ගෑස් මිල ඉහළ දැමීමට ඉල්ලීය. ආණ්ඩුව එවරත් මුනිවත රැකි අතර පැහැදිලි ප්‍රකාශයක් සිදුකරේ නැත.

ලාෆ් සමාගම ගෑස් බෙදාහැරීම නැවැත්වූ අතර රජයේ ලිට්‍රෝ පැවසුවේ වෙළඳ පොළ හිඟයක් ඇතිවෙන්න නොදෙන බවය.

නමුත් එය පට්ටපල් බේගලයක් වූ අතර ඇත්තටම නම් වෙළඳ පොළ තුළ ගෑස් හිඟයක් ඇති විය. කොරෝනා අස්සේ ගෑස් පෝලිම් ඇති විය.

අවසානයේ ගෑස් මිල ජනතා දුෂ්කරතා නොතකා ඉහළ දැමිණ.

ඉන්ධන මිල සම්බන්ධයෙන් ද මේ ඇතිවෙමින් තිබෙන්නේ එවැනි තත්ත්වයක් විය නොහැකි ද ?

පසුගිය දිනවල ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට ඉල්ලූ විට ආණ්ඩුව කියන්නේ දැන්ම ඊට ඉඩ නොදෙන බවයි. කෙසේ වුවත් දැන් ඉන්දීය ඔයිල් සමාගම ත් ඉන්ධන මිල ඉහළ දැමීමට අවසර ඉල්ලා ඇත.

ඊළඟට සිදුවන්නේ කුමක්ද ?

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න