නඩු කඩිනම් කරන්න : විරුද්ධ බඩු මෙන්න

නඩු කඩිනම් කරන්න : විරුද්ධ බඩු මෙන්න

විශේෂ අධිකරණ පද්ධතියක් පිහිටුවිම ව්‍යවස්ථා විරෝධී බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

හිටපු ජනාධිපති මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ අමාත්‍යවරුන්ට අවශ්‍ය පරිදි අධිකරණ පද්ධති ස්ථාපිත කිරිමට නොහැකි බවය.

හිටපු ජනාධිපතිවරයා මේ සඳහන් කර සිටින්නේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීම, ගොඩගැසී ඇති නඩු කඩිනමින් විභාගකොට තීන්දු ලබාදීම ඇතුළුව කාරනා ගණනාවක් වෙනුවෙන් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති "අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත" ගැනය.

පෙත්සම්කාර පාර්ශවයේ යෝජනාව

මේ සම්බන්ධව මේ වන විටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ඇතුළු පාර්ශව ගණනාවක් මේ පනතට එරෙහිව පෙත්සම් ගොනුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් ඇත.

එසේම එම පෙත්සම් වලට එරෙහිව කරුණු දැක්වීමට අතරමැදි පෙත්සම් 14 ක් ද ගොනු කර තිබේ.

පෙත්සම්වලට එරෙහිව අතරමැදි පෙත්සම් 14 ක්

ඒ මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික‍්‍රමරත්න, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා, නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, මහාචාර්ය සරත් විජේසූරිය, සමන් රත්නප්‍රිය, ජයදේව උයන්ගොඩ, කේ.ඩබ්ලිව්. ජනරංජන, ගාමිණී වියන්ගොඩ සහ ජගත් හේමචන්ද්‍ර යන අයය.

රොමේෂ්ගේ තර්කය

පෙත්සම්කාර පාර්ශව ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා ඇත්තේ අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිර්දේශ කරන ලෙසය.

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ සඳහන් පරිදි ත්‍රිපුද්ගල මහාධිකරණ යැයි සඳහන් අධිකරණ වර්ගයක් නැති බැවින් එම එම පනත් කෙටුම්පත මුළුමනින්ම ඉවත දැමිය යුතු යැයි පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා ඇති බවද දැනගන්නට ඇත.

එක් පසෙකින් හිටපු ජනාධිපතිවරයා අමාත්‍යවරුන්ට අවශ්‍ය පරිදි අධිකරණ පද්ධති ස්ථාපිත කිරිමට නොහැකි බව සඳහන් කරන විට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු සහ දක්ෂ නීතීඥයකු අධිකරණ වර්ගයක් සම්බන්ධ ප්‍රශ්නයක් මතුකර ඇත.

අපේ ප්‍රශ්නය සරලයි !

මෙහිදී අප මතුකරන සරල කාරණය වන්නේ "මිනිසුන්ට, පොදුවේ සමාජයට යුක්තිය ඉටුවීම කඩිනම් වීමේ ගැටලුව කුමක්ද?" යන්නය.

ඊට පිළිතුරු ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට අකනිටා බඹු ලොව දක්වා විවිධ කරුණු කාරනා මීට එරෙහි පාර්ශව වෙත තිබෙන්නට පුළුවන. නමුත් ඒ සියල්ල අවසානයේ එක් දෙයක් පැහැදිළිව පුරෝකථනය කරන්නට පුළුවන. ඒ මේ කෙටුම්පතට විරුද්ධ කිසිවෙක් අපේ සරල ප්‍රශ්නයට වගවීමක් නොමැති බවය.

සැබවින්ම නඩු කටයුතු විශේෂයෙන් අපරාධ නඩු කටයුතු ප්‍රමාදවීම සම්බන්ධ කාරණය අද ඊයේ හෝ හදිසියේ මතුවූ ප්‍රශ්නයක් නොවේය. ඊට පැහැදිළි ඉතිහාසයක් ඇත. එම ඉතිහාසය නිර්මාණය වුයේ නඩු ප්‍රමාදවීම වලක්වා ගැනීම බරපතල සමාජ අවශ්‍යතාවක් බවට පත්වූ නිසාය.

නඩු පමාවේ කතාවට ඉතිහාසයක් ඇත

නඩු පමාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ වලින් සමන්විත කාරක සභාවක් පවත්වන්නට යෙදුනෙත් ඒ අනුවය. අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට යෙදුනේද එකී කාරකසභා වාර්තාව පදනම් කරගෙනය. අපරාධ නඩුවක් විභාගකර එහි අභියාචනයද විමසා අවසන්කොට අපරාධකරුවෙකු දඬුවම් ලැබීමට වසර 17 ක් ගත වන බව හෙළිවූයේද එම කාරක සභාවේ වාර්තා වෙන්මය.

ඒ අනුව ත්‍රිපුද්ගල මහාධිකරණයක් යෝජනා කිරීම සහ එම නඩු කටයුතු අනවශ්‍ය කල් දැමීමක් නොකොට අඛණ්ඩව විභාග කිරීමට එරෙහිවීම යුක්ති සහගත වන්නේ එම ක්‍රමවේදය තුළ චෝදනා ලබන පාර්ශවයට සිය නිරවද්‍යභාවය තහවුරු කිරීම වෙනුවෙන් වන අනුලංඝනීය අයිතියට හානියක් වන ආකාරයට මේ යෝජනා වී ඇත්නම්ය.

ශිරාණි ස්ටයිල් සහ සරත් ස්ටයිල්

නිදර්ශනයක් ලෙස සඳහන් කරනවා නම් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් ඉවත් කිරීම, සරත් ෆොන්සේකා නම් පොදු අපේක්ෂකයා බන්ධනාගාරගත කල ආකාරයට මේ අධිකරණ පද්ධතිය සුදානම් කරනවා නම් රාජපක්ෂලා සහ දිනේෂ්ලාට පළමුව ඊට එරෙහි වන්නේ අපය.

එහෙත් අප මෙවැනි ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම, තාජුඩීන් ඝාතනය මෙන්ම අපරාධ නඩු විෂයේ ගැනෙන බරපතල මුල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධව සමාජ යුක්තිය ඉටුවිය යුතු බව විශ්වාස කරන නිසාය.

මහින්දගේ සහ දිනේෂ්ගේ ප්‍රශ්නය

ඒ අනුව "අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත" සම්බන්ධව හිටපු ජනාධිපති රාජපක්ෂට ඇත්තේ තමන් ඇතුළුව පවුල සම්බන්ධව ඇති පුද්ගලික අවධානමක්ය. ඔහු මේ මොහොතේ උත්සහ දරන්නේ එම පෞද්ගලික අවධානම අප කාගේත් අවධානම කරන්නටය. දිනේෂ්ට ඇත්තේ රාජපක්ෂ රෙජීමයට එල්ලවන නෛතික අවධානම සිය පෞද්ගලික දේශපාලන කඳවුරේ අවධානමක් බවට පත්වීමේ අන්ත්‍රාවෙන් ගලවා ගැනීමය.

සමාජ යුක්තිය ඉටුවීම කඩිනම්වීම ප්‍රශ්නයක්ද ?

ඒ හැර සමාජ යුක්තිය ඉටුවීම පමාවීම සම්බන්ධ ප්‍රශ්නයක් ඔවුන්ට නැත. සමාජ යුක්තිය ඉටුනොවීම සම්බන්ධ ප්‍රශ්නයක්ද ඔවුන්ට නැත. ඔවුන්ට ඇත්තේ සමාජ යුක්තිය ඉටුවීම කඩිනම් වීම සම්බන්ධ ප්‍රශ්නයක්ය.

එසේම මෙහිදී අතපසු නොකළ යුතු තවත් වැදගත් කාරණයක්ද ඇත. ඒ "අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත" ගෙන ආ පමණින් හෝ ඒ වෙනුවෙන් හඬ නැගූ පමණින්, ආණ්ඩුව හෝ ඒ වෙනුවෙන් මේ මොහොතේ පෙනී සිටින සියළු දෙනා සමාජ යුක්තියේ පරම ආරක්ෂකයින් නොවන බවය. ඒ ගැන මුග්ධ විශවාසයක්ද තබාගත යුතු නැත.

ඒ වෙනුවට මෙහිදී අවධාරණය කරන්නේ සමාජ යුක්තිය ඉටුවීම සහ එය විධිමත්ව කඩිනම් වීමට අදාළ අවම යාන්ත්‍රණයක් හෝ බිහිකර ගැනීමේ වැදගත් කම කෙරෙහිය. ඒ කවුරු මැදිහත් නොවූවත් යාන්ත්‍රණ ඇත්නම් ඒවා පණ අදිමින් හෝ වැඩ කරන බවට වන විශ්වාසය නිසාය.

සංජය ලියනගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න