යුද හමුදාවේ 112 බ්‍රිගේඩය ගැන CID පරීක්ෂණ

යුද හමුදාවේ 112 බ්‍රිගේඩය ගැන CID පරීක්ෂණ

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදාවේ 112 බ්‍රිගේඩය සම්බන්ධ බවට පැතිරෙන ප්‍රචාරය අනුව එම එම බ්‍රිගේඩය පිළිබඳව රහස් පොලිසිය පරීක්ෂණ අරඹන බව අධිකරණයට දැනුම් දී තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යයට කළ ප්‍රකාශයකින් කියැවුණේ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත්, එවකට සිටි යුද හමුදාපති සරත් ෆොන්සේකා සහ යුද හමුදාවේ 112 බ්‍රිගේඩය මෙම ඝාතනයට වගකිවයුතු බවත්ය.

යුද හමුදා තොරතුරු අනුව මහනුවර මූලස්ථානය කරගත් 11 වැනි සේනාංකයට අයත් 112 බ්‍රිගේඩය ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුවූ 2009 වසර වන විට නිල වශයෙන් බදුල්ලේ ස්ථාපිත කර තිබූ බව පැවසෙන අතර එම අවධියේ 112 බ්‍රිගේඩයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන බවද දැනගන්නට ඇත.

දුමින්ද කැප්පෙටිවලාන !

කෙසේ වුවත් ඇතැම් අවස්ථාවලදී කොළඹ ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු සිදු කිරීම සඳහා112 බ්‍රිගේඩය කැඳවා තිබුණු බවත් කොළඹ නාරාහේන්පිට ප්‍රදේශය මූලස්ථානය කරගනිමින් එම කටයුතු සිදුකළ බවත් තවදුරටත් දැනගන්නට ඇත.

දුමින්ද කැප්පෙටිවලාන ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මීට පෙර රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකු වන අතර ඔහුව යළි සේවයේ පිහිටවනු ලැබූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුවය.

දුමින්ද කැප්පෙටිවලාන හිටපු යුද හමුදාපති සරත් ෆොන්ස්කාගේ යුද සහායක වශයෙන්ද කටයුතු කර තිබුණි.

මර්වින් සිල්වා සම්බන්ධ නැහැ :

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු යුද හමුදාපති සරත් ‍‍‍‍ෆොන්සේකා හා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සම්බන්ධ බවට සිදුවූ ප්‍රචාරවලින් පසුව ඔවුන් මෙම ඝාතනයට සම්බන්ධදැයි සිදුකරන ලද විමර්ශනයන්හිදී මෙම සිද්ධියට ඔවුන්ගේ සම්බන්ධයක් නොමැති බවත් රහස් පොලිසිය විසින් තහවුරු කරගෙන ඇත.

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඇති නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර හා පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල 15 දින ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ගෙන් රහස් පොලිසිය බලහත්කාරයෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙන බවට ප්‍රචාරයක් පැතිර යන බවත් එසේ ඔවුන්ගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශ ලබාගෙන ඇතිදැයි තහවුරු කරගන්නා ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

තවත් මිනීමැරීම් සිද්ධියක් :

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත් මිගාල් මොහොමඩ් එවැනි බලපෑමක් රහස් පොලිසියෙන් සිදුකර ඇත්දැයි විමසූ විට සැකකරුවන් නිශ්ශබ්දව සිටි බැවින් එවැන්නක් සිදුවී නැති බව පෙනෙන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කරද්දී මිනීමැරීම් සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිට බව ජාතික රහස් තොරතුරු සේවය විසින් සොයාගෙන ඇති බවද රහස් පොලිසිය විසින් එදින අධිකරණයට දැනුම් දී තිබේ.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න