පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කැණීම් බලපත්‍ර ලබාගෙන පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවල නියැලුණු මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළුව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු 15 දෙනෙකු සිය ගවේෂණ සම්බන්ධ අවසන් වාර්තා භාරදී නැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔවුන් සිදුකළ කැණීම් ගවේෂණවලදී සොයා ගත් පුරාවස්තුන් පිළිබද නාමලේඛන පවා නොදී ඇතැයිද එම ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. පුරාවිද්‍යා පනත ප්‍රකාරව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවා ඇති උපදෙස්වලට අනුව කැණීම් සිදුකරන්නත් සිය ව්‍යාපෘතිය නිම කිරීමෙන් අනතුරුව විධිමත් ව්‍යාපෘති වාර්තාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු වුවත් ඔවුන් මෙතෙක් ලබාදී ඇත්තේ අන්තර් වාර්තා පමණක් බවද කියැවේ.
කැණීම් බලපත්‍රලාභීන් අතර සිටින මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධනගෙන් මේ ගැන විමසූ විට පැවසුවේ 2015 වසරේ සිට ලබාගත් කැණීම් බලපත්‍රවලට අදාළ ව්‍යාපෘති වාර්තා මේ මස අගභාගය වනවිට ප්‍රකාශයට පත් කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දෙන බවය. එහෙත් 2015 ට පෙර ලබාගත් කැණීම් බලපත්‍රවලට අදාළ ව්‍යාපෘති වාර්තා පිළිබඳ ගැටළුවක් පවතින බව ඔහු පවසයි.
කැණීම් බලපත්‍ර ලබාගෙන ව්‍යාපෘති වාර්තා ලබා නොදී ඇති මහාචාර්යවරු වන්නේ රාජ් සෝමදේව, ප්‍රිශාන්ත ගුණවර්ධන, ජගත් වීරසිංහ, ගාමිණී අධිකාරි, සුමනසිරි වාව්වගේ, අනුර මනතුංග, ආර්ය ලගමුව යන අයයි. ආචාර්යවරුන් වන්නේ ආර්.එම්.එම්. චන්ද්‍රරත්න, බී.කේ. ජයරත්න, රෝස් සෝලංගආරච්චි, ධනංජය ගම්ලත්, සී.ආර්. විතානච්චි, තුසිත මෙන්ඩිස්, මංගල කටුගම්පල යන අයයි.

