Language Switcher

V2025

ලොහාන්ගේ ඉල්ලා අස්වීමේ ලකුණු මහින්දට !

ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ ඉතාලියේ සිට සිදුකළ දැනුම්දීම මත බව වාර්තා වෙයි.

මේ බව වාර්තා වන්නේ අගමැති කාර්‍යාලයේ නිලධාරීයකු බීබීසී සිංහල සේවය වෙත සිදුකර ඇති ප්‍රකාශයකිනි.

කෙසේ වුවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වෙතින් ඒ ගැන විමසීමේදී ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත.

ඊට අදාළ බීබීසී වාර්තාව පහත දැක්වෙයි.

ලොහාන් රත්වත්තේ අස් වුණාද ? අස්වෙන්න කීවාද ?

රජය අපහසුතාවයට පත් වෙන නිසා ඉල්ලා අස් වුණා. නැතිව කවුරුවත් මාව අස් කලේ නෑ," බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීබීසී සිංහල සේවය කළ විමසීමේදී දැක්වූ ප්‍රතිචාරයයි ඒ.

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන් හිදී හටගත් සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ එම රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

එම නිවේදනය නිකුත් කෙරුණේ, අදාළ රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා නිර්දේශ ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද (සැප්. 15) ලිපියක් යැවූ බව දක්වමින් ලොහාන් රත්වත්තේ සිය ෆේස්බුක් ගිණුමෙහි එම ලිපිය පළකිරීමෙන් අනතුරුවය

ඔහු එම ලිපියෙන්, "මේ වන විට අමාත්‍යංශය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන කරුණු කරණා හමුවේ රජය අපහසුතාවයට පත් නොවීමේ අරමුණින් මගේ ස්වකැමැත්තෙන් 2021.09.15 වන දින එනම් අද දින සිට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඔබ තුමාගේ නිර්දේශය ඉතාමත් ගෞරවයෙන් අපේක්ෂා කරමි." යැයි ඉල්ලා තිබිණි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි තමා වෙතින් සිදුවූ සිද්ධීන්වලට අදාළ වගකීම් භාරගනිමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවය.

"ඒ මහතා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිතුමා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබීය," යනුවෙන් ජනතිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියකු බීබීසී සිංහල වෙත පැවසුවේ අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සිට දුරකතයෙන් අමතා අමාත්‍ය ලොහාන් රත්වත්තේ ට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දුන් බවය.

සිරකරු දිනය යෙදුණු සැප්තැම්බර් 12 වැනිදා පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමැතිවරයෙක් පිස්තෝලය පෙන්වා සිරකරුවන් දණගස්වා ඇති සිද්ධියක් පිළිබඳව ද්‍රවිඩ ජාතික මජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අනාවරණය කර තිබුණි.

gajen

රාජ්‍ය ඇමැතිවරයා විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින විශේෂ සිර මැදිරිය වෙත ගොස් ඉන් සිරකරුවන් අටදෙනකු පිටතට ගෙන ඔවුන් දණ ගස්වා ඇතැයි මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි.

එමෙන්ම සුදර්ශන් නමැති සිරකරුගේ හිසට තුන්වතාවක් පිස්තෝලය තබා "උඹලා එළියට යවන එක තීරණය කරන්නේ අපි" කියා තර්ජනය කළ බවත් එය වැළැක්වීමට ගිය අනුරාධපුර බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවත් බන්ධනාගාර නිලධාරීහු පෙන්වා දුන් බව අරුණ පුවත්පත වාර්තා කළේය.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරය තුළදී සිරකරුවන් දණ ගැස්වී යැයි කියන සිදුවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය විසින් ද හෙලා දකිනු ලැබීය.

එහි නේවාසික සම්බන්ධීකාරකවරිය සිය ට්විටර් සටහනක් තබමින් පැවසුවේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයක යුතුකමක් බවය.

hanaඅරුණ පුවත්පත පසුගිය දා තවදුරටත් වාර්තා කර තිබුණේ වැලිකඩ බන්ධනාගාරයටද ඉකුත් 05 වැනිදා රාත්‍රියේ බීමතින් මිතුරන් සමග පැමිණි රාජ්‍ය ඇමැතිවරයා පිස්තෝලයක්ද ඇතැතිව එල්ලුම්ගස නැරඹීමට ගිය බවය.

එහි දී අලුතින් බඳවාගත් නියාමකවරුන් පේළියට තබා දේශනයක් පැවැත් වූ බවද හෙළි වී තිබේ යනුවෙන් අරුණ පුවත් පත පැවසීය.

''අපි දැක්කා පසුගිය දවසක බීමත්කමින් ගිහිල්ලා රුවන්වැලිසෑයට ඇතුළු වෙන්න හදපු රාජ්‍ය ඇමැතිවරයා. ඊයේ (14 වැනිදා) පෙරේදා (13 වැනිදා) බන්ධනාගාරයට ගිහිල්ලා, බන්ධනාගාරයේ එල්ලුම් ගස අසලට ගොස් පිස්තෝලයක් ප්‍රදර්ශනය කරමින් මරණ දඬුවම් නියම වූ සිරකරුවන් ඉන්න කුටියට ගිහිල්ලා සමහර නිලධාරීන්ට තර්ජනය කරලා තිබෙනවා,"යනුවෙන් හිටපු අධිකරණ ඇමැතිවරියක හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන තලතා අතුකෝරල උපුටා දක්වමින් අරුණ පුවත්පත තවදුරටත් වාර්තා කළේය.

කෙසේ වෙතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඊයේ (සැප්. 14) මාධ්‍ය වෙත පැවසුවේ එවැනි කලහකාරී සිදුවීමක් ඇති නොවූ බවය.

"තර්ජනය කරන්න වෙන අය ඉන්නවා නේ" මෙම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය රාජ්‍ය අමාත්‍යවරයාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ මේ පිළිබඳ පළවී ඇති මාධ්‍ය වාර්තා තමන් ප්‍රතික්ෂේප කරන බවය.

ඇමතිවරයා වශයෙන් ඕනෑම බන්ධනාගාරයකට යාමේ අයිතිය තමන්ට ඇති බව පැවසූ ඔහු, "මම ගියේ සිරකරුවන්ගේ සුභසාධනය බලන්න තමයි. නැතිව ඔය කියන විදිහේ දෙයක් උනේ නෑ." යි සඳහන් කළේය.

අනුරාධපුර බන්ධනාගාරයේදී ද්‍රවිඩ සිරකරුවන් දණගස්වා තර්ජනය කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහුගේ ප්‍රතිචාරය වූයේ, "මම මොකටද තර්ජනය කරන්න යන්නේ එකට ඕනනම් වෙන අය ඉන්නවා නේ." යන්න ය. අගමැතිවරයා ඉතාලියේ සිට ඇමතී ද යන්නට ලොහාන් රත්වත්තේගේ පිළිතුර වූයේ, එසේ අගමැතිවරයා තමාට කතා නොකළ බවය.

කෙසේවෙතත්, ඔහු වැඩිදුරටත් පැවසුවේ තමා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරයේ දිගටම කටයුතු කරන බවකි.

(බීබීසී)