ජනපති සමග ඥානසාර හිමි ජපන් සමුළුවේ (වීඩියෝ)

ජනපති සමග ඥානසාර හිමි ජපන් සමුළුවේ (වීඩියෝ)

රට පුරා හදිසි නීතිය පනවන්නට මග පෑදූ උඩරට මුස්ලිම් විරෝධී කැරැල්ලට සම්බන්ධ බවට අගමැතිවරයා විසන් චෝදනා කර සිටී බොදුබල සේනා සංවිධානයේ නායකයා ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපතිවරයා සමග ටෝකියෝවේ පැවති ජපන්වාසී ශ්‍රී ලාංකික ප්‍රජා සමුළුවකට සහභාගි වී තිබේ.

සය දින නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින ජනාධිපතිවරයා ලාංකික ප්‍රජාව හමුවන අවස්ථාවට ආරාධනා ලද පිරිස අතර සිටි සංඝයා වහන්සේ අතර සිංහල දැඩි මතධාරී ගලබොඩඅත්තේ ඥානසාර ද සිටිනු දැකීමෙන් තමන් කම්පාවට පත්වූ බව ජපානයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් කියා සිටියේය.

“එතන හිටපු හැමෝම ගැස්සිලා හිටියා ජනාධිපතිතුමා ජාතිවාදී හාමුදුරු කෙනෙක් එක්ක එකට ඉන්නවා දැක්කහම,” යි නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි ව්‍යාපාරිකයා ප්‍රකාශ කළේය.

“පතෝල අරක මේක කියලා අමු අමුවේ අපේ ජනාධිපතිතුමාට බනින ඥානසාර කොහොමද එකම වේදිකාවේ බන කියන්න ගෙනල්ල තියාගන්නේ? මේක තනිකරම දේශපාලන මගඩියක්.”

ටෝකියෝ අගනුවර ඉම්පීරියල් සුඛෝපභෝගී හෝටලයේ 13 අඟහරුවාදා පැවති “ජනාධිපතිවරයා සමග ප්‍රජා හමුව” සඳහා ආරාධනා යවා තිබුනේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි.

ව්‍යාපාරික, විශ්ව විද්‍යාල සහ ශිෂ්‍ය ප්‍රජා නායකයන් ඒ සඳහා කැඳවා තිබුනි.

“ඥානසාර එනවා කියා තානාපති කාර්යාලය නොදැන ඉන්න කිසිම විදියක් නෑ,” යි සමුළුවට සහභාගී වූ තවත් අයකු පැවසීය.

 වීඩියෝ 

මධ්‍යම කඳුකරයට මහත් විනාශයක් සිදුකළ මුස්ලිම් විරෝධී ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිමින් ව්‍යාපාරික නියෝජිතයන් අත්සන් කළ සංදේශයක් ද ජනාධිපතිවරයා භාර දී තිබේ.

ශ්‍රී ලංකාවට ආයෝජන අද්දවා ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවරයා ඇතුළු මුල් පෙලේ මැති ඇමතිවරුන් කිහිප පලක් ජපානයට ගොස් සිටිති.

ජපානයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් සහ මුස්ලිම් ආගමික නායකයන් ද ජනපති හමුවී තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ජනමාධ්‍ය වෙත ලබා දී ඇති ටෝකියෝවේ ඉම්පීරියල් හෝටලයේ පැවති ශ්‍රී ලාංකික ප්‍රජා හමුවේ වීඩියෝවෙන් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඉන්නා දර්ශන සංස්කරණය කර තිබුනි.

(radiogagana)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න