Language Switcher

V2025

අහිමි වන සෑම මිනිස් ජීවිතයකටම ආණ්ඩුව වගකිව යුතුයි - ආචාර්ය හරිනි

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය හමුවේ ආණ්ඩුවේ හැසිරීම වගකීමෙන් තොර බවත් එබැවින් අහිමි වන සෑම මිනිස් ජීවිතයකටම ආණ්ඩුව වගකිය යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඊයේ (13) අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළ අතර එහිදී පළකළ අදහස් පහත පළ වේ.

“ජාතික ජන බලවේගය හැටියට කොවිඞ් රෝගයෙන් මියගිය අපේ සහෝදර සහෝදරියන්, අපේ නෑදෑයන් සහ මේ රටේ පුරවැසියන් හට අපගේ සාතිශය ශෝකය පළ කරනවා. මේ බොහෝ මරණ වළක්වාගත හැකි එහෙත් වළක්වා නොගත් මරණ. මේ බොහෝ දෙනෙක් මැරුණේ ආණ්ඩුවේ නොසැලකිලිමත් බව පමාවීම්, වැරදි තීරණ නිසයි. මේ මරණවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි. නමුත් අපි කිසිසේත්ම ඔවුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම සංවේදී බවක් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ නැති වෙන්නේ රටට වටිනා ජීවිත බව ජාතික ජන බලවේගයේ අපි පිළිගන්නවා. ඒ ජීවිත බේරා ගන්න බැරිවීම ගැන අපි දුක් වෙනවා.

රටේ ජනතාව මේ වෙලාවේ ඉන්නේ විශාල බයකින්. කොයි මොහොතක තමන් ආදරය කරන මිනිස්සුන් වෙන් වෙයිද නොදන්නා කම්පනයක ඉන්නේ. ඒ වගේම රෝගයේ ස්වභාවය නිසා පුරුදු විදිහට අපිට එකිනෙකාව රැකබලා ගන්න බැහැ. සාමාන්‍යයෙන් අපේ සමාජයේ කෙනෙක් ලෙඩ වුණාම අනෙක් අය එකතු වී රැකබලා ගන්නවා. මේ වෙලාවේ අඩුම ගානේ මරණයකදී සිදුකරන සංස්කෘතික චාරිත්‍ර-වාරිත්‍ර බොහොමයකින් කිසිම දෙයක් කරන්න බැරි තත්වයක් තියෙන්නේ. අපේ දුක නිවාගන්න ඒ කටයුතු ටිකවත් මේ අවස්ථාවේ කරන්න බැරිවෙලා. මේ හිත් අමාරුවෙන්, බයෙන්, දුකෙන් සහ සැකෙන් අපේ රටේ බොහෝ දෙනක් ඉන්නේ. එවැනි මොහොතක අපේ රටේ ආණ්ඩුව කොයිද කියලා අහන්න වෙනවා. ජනතාව ආණ්ඩුවක් පත්කර ගන්නේ මෙවැනි ව්‍යසනයකදී නායකත්වය ගන්න. යම් කිසි ආකාරයකට අපේ ප්‍රශ්නය විසඳයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් මේ වෙලාවේ ආණ්ඩුවේ නිහඬතාවයක්, වගකීම්වලින් බැහැරවීමක් අපි දකින්නේ. රටේ ජනතාවගේ ජීවිත ආණ්ඩුවේ ඇමතිවරුන් දෙවියන්ට බාර දුන්නේ. ආණ්ඩුව මේ වගකීමෙන් බැහැර වෙලා. රටේ මිනිස්සු දෙවියන්ට බාර දෙනවා නම් ආණ්ඩුවක් මොකටද? නායකයන් මොකටද? අපේ නායකයෝ ජනතාව අත්විඳින දේ ගැන දැනෙන්නේ මොනවාද? ජනතාව ගැන ඔවුන් සිතන්නේ මොනවාද? ඒ ගොල්ලෝ අපිට කියන්න ඕනෑ.

විද්‍යාත්මක තොරතුරු තිබියදීත් තීරණ නොගන්නේ නම් වෙනත් තොරතුරු ඔවුන් ළඟ තිබෙනවාද? අපි නොදන්නා දෙයක් ඔවුන් දන්නවාද? වගකිව යුතු ආණ්ඩුවක් නම් ඔවුන් තීරණ ගන්නේ මොන පදනමකින්ද කියලා ඔවුන්ව පත්කළ ජනතාවට කියන්න ඕනෑ. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විද්‍යාඥයින්ගේ නිර්දේශ නොතකා තීරණ ගැනීම ගැන ආණ්ඩුවෙන් උත්තර අවශ්‍යයි. ආණ්ඩුව මේ මොහොතේ ගන්න තීරණ නිසා මිනිස්සු මැරෙනවා. මිනිස් ජීවිත කියන්නේ ඉලක්කම් නෙවෙයි. හැම ජීවිතයකටම බැඳීම් තියෙනවා. ආණ්ඩුව ගන්න තීරණවලින් බලපෑමක් වෙන්නේ ඒ බැඳීම්වලට. මිනිස් ජීවිත ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් බැහැර වෙලා දෙවියන්ට බාර දෙනවා නම් ඒ ආණ්ඩුව අපිට එපා. අඩුම තරමින් ඔවුන් ගන්න තීරණ සම්බන්ධයෙන් වගකීම බාරගන්න ඕනෑ. ආරක්‍ෂක කාමරවල හැංගිලා කරගෙන යන හැසිරීම වගකීම් විරහිතයි.

මේ සියලු වැරදි තීරණ මධ්‍යයේ ඒ බර දරාගෙන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලුම දෙනා විශාල කාර්යභාරයක් සිදුකරනවා. දැනට අවුරුදු එක හමාරක් පුරා ඔවුන් අසීමිතව වෙහෙස වෙනවා. මේ මොහොතේ අවදානමේ මුලින්ම සිටින්නේ ඔවුන්. වෛද්‍ය ක්‍ෂේත්‍රය සහ මුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේම බොහෝ දෙනෙක් ආසාදනයට පත්වෙලා. ඔවුන්ගේ නිරෝගී බව අපි ප්‍රාර්ථනා කරනවා. මේ බාධක මධ්‍යයේ ඔවුන් කරගෙන යන කාර්යභාරය ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ජනතාව ගැන හිතලා ඔවුන් කරන කැපවීම අපි විශේෂයෙන් අගය කරනවා. ආණ්ඩුවට බල කරන්නේ ජනතාව අත්හැරලා, සෞඛ්‍ය සේවය අත්හැරලා කටයුතු කරන්න එපා කියලයි. ආණ්ඩුව මිනිස් ජීවිත සහ ආර්ථිකය අතර තේරීමක් කර මිනිස් ජීවිතවලට වඩා ආර්ථිකය කෙරෙහි සලකනවා නම් අපිට අහන්න තියෙන්නේ මිනිස් ජීවිත නොකතන ආර්ථිකය කාටද කියලයි. අපිට මේ රටේ මිනිස්සු වැදගත්.

ජනාධිපතිතුමාගේ නොදැනුවත්කම නිසා මෙහෙම වෙන බව කියන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවක් කියන්නෙ එක පුද්ගලයෙක් නෙවෙයි. පොදු වගකීමක් තියෙන පිරිසක්. එක් එක් කෙනා මත වගකීම් පටවලා නිදහස් වෙන්න බැහැ. සියලු දෙනා වගකීම දරන්න ඕනෑ. ඔවුන් ගන්නා තීරණ පිටිපස්සේ තිබෙන තර්කය මොකක්ද කියලා හෙළිකරන්න ඕනෑ. අහිමි වෙන හැම මිනිස් ජීවිතයකම වගකීම ආණ්ඩුව දරන්න ඕනෑ කියලා අවධාරණය කරනවා.”