එකායි : වයිබර් නිදහස්

එකායි : වයිබර් නිදහස්

වයිබර් සමාජ ජාලය (Viber) වෙත මෙතෙක් තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය 13 මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් ඊයේ (13) සන්ධ්‍යාවේ නිවේදනයක් නිකුත් කල අතර එම නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනය

"පසුගිය දිනවල රටේ ඇතැම් ප්‍රදේශවල කලහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී, මහජනතාව අතර වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට සහ යම් ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීමට ඇතැම් පාර්ශවයන් විසින් නීති විරෝධී ලෙස සමාජ මාධ්‍ය ජාලා භාවිත කිරීම පාලනය කිරීම සඳහා, ඇතැම් සමාජ මාධ්‍ය මත තාවකාලික වාරණයක් පැනවීමට රජය විසින් කටයුතු කරන ලදී.

එම සමාජ මාධ්‍ය වාරණය පැනවීමෙන් අනතුරුව, කලහකාරී හැඟීම් සහ ප්‍රචණ්ඩත්වය වේගයෙන් පැතිර යාම සමනය වූ අතර, රටෙහි ආරක්ෂක තත්ත්වය නැවත යහපත් වෙමින් තිබෙන බව වාර්තා වී ඇත. එම මාධ්‍ය භාවිතා කරමින් සමාජ විරෝධී සහ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.

මෙහිදී, විශේෂයෙන්ම, විදෙස්ගත ශ්‍රමිකයින් හට සිය නිවෙස් සමග සන්නිවේදනය කිරීමේදී මුහුණ දීමට සිදු වන අපහසුතාවන් ගැන රජය සානුකම්පිතව සලකා බලා ඇත. එමෙන් ම, ව්‍යාපාරික ප්‍රජාවටත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ටත්, කුඩා පරිමාණ ව්‍යවසායකයින්ටත් මෙම වාරණය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ සිදු වී ඇති අපහසුතාවන් පිළිබඳව ද රජයේ අවධානය යොමු වී ඇත. මෙම කරුණු සලකා බලා, මූලික පියවරක් ලෙස, වයිබර් සමාජ ජාලය (Viber) වෙත මෙතෙක් තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය අද දින මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබා දීමට රජය තීරණය කර තිබේ.

මෙවන් තත්ත්වයක් නැවත ඇති නොවීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන ක්‍රියාවට නැංවීම සඳහා දැනට තාවකාලික සීමාවකට ලක් කර ඇති අනෙකුත් සමාජ ජාලා ආයතන සහ වෙනත් පාර්ශවකාර ආයතන සමග රජය සාකච්ඡා පවත්වමින් සිටින අතර, නිසි ආරක්ෂණ සහ ආවේක්ෂණ විධිවිධාන පිළිබඳව සලකා බලමින්, එම සමාජ ජාලා සේවාවන් වෙත ප්‍රවේශය ද යථා කාලයේදී විවෘත කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. රජය සහ සමාජ ජාලා සේවාවන් මෙන්ම සමාජ ජාලා භාවිතා කරන ප්‍රජාව ද සමාජ හා ආරක්ෂක ස්ථායීභාවයක් සාක්ෂාත් කර ගැනීම සඳහා සෑම පුරවැසියකුගේම කැප වීම මෙහිදී රජය ඉල්ලා සිටී.

නීතිය සහ සාමය රැක ගැනීම සඳහා රජය ගත් මෙම ක්‍රියාමාර්ගයෙන් සිදු වූ යම් අපහසුවක් ඇතොත් ඒ පිළිබඳව රජය කණගාටුව පළ කරයි."

නීතිඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න