Language Switcher

V2025

වෘත්තීය සමිති හයිය පෙන්නයි !

ජෝශප් ස්ටාලින් , දුමින්ද නාගමුව ඇතුළු දේශපාලන සහ වෘත්තීය සමිති නායකයින් නිරෝධායනයට යොමු කිරීමට විරෝධය දක්වමින් වෘත්තිය සමිති රැසක් එකමුතුව අද (14) කොළඹදී විරෝධතා පවත්වනු ලැබිණ.

නිදහස් අධ්‍යාපනය සදහා වූ සිසු ජන ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාව ඇතුළු කොළඹ පැවති විරෝධතා වලදී නිරෝධායන රීති කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප හිමි වීමෙන් අනතුරුව පොලිසිය බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කෙරුණු බව විරෝධතාවේ නිරත පිරිස් චෝදනා කළහ. ඔවුන් ඉල්ලා සිටියේ එසේ බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකර ඇති පිරිස වහාම නිදහස් කරන ලෙසයි.

විරෝධතාකරුවන් ඇමතු වෙරුත්තිය සමිති නායකයන් එහිදී අභියෝගකර සිටියේ හැකි නම් තමන්වද අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙසය. ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට මේ වන විට කොරෝනාව යොදාගෙන ඇති බවත් කොරෝනාව ඇතුලේ මර්දනය දියත්කර ඇති බවටත් චෝදනා එල්ල කෙරින.

බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකළ පිරිස නිදහස් නොකළහොත් ඉදිරියට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවද එහිදී පැවසිණ.

එමෙන්ම විරෝධතාවට සහභාගී වූ තම සාමාජිකයින් පිරිසක් අධිකරණයෙන් ඇප නියමකර තිබියදීත් නිරෝධායනය සඳහා රැගෙනයාමට එරෙහිව පසුගිය 12 වනදා සිට මේ දක්වා ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වී සිටිති.

විරෝධතා මදිවට නඩු !

මේ අතර උද්ඝෝෂණ සහ මහජන පෙළපාළි අත්හිටුවා ඇති බවට පොලිස් මාධ්‍ය ඒකකය පසුගිය ජූලි මස 06 වැනි දා නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් රටේ ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව පවසමින්, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් අද(14) ශ්‍රේෂ්ඨාධිකණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් ගොනු කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා, සෞඛ්‍ය ඇමතිවරිය සහ නීතිපතිවරයා පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය ඇමතිනිය විසින් නිකුත් කර ඇති සියලුම නිවේදන සහ ගැසට් නිවේදන අධිකරණය හමුවට ගෙන්වා ඒ සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පවත්වන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

තවද අධිකරණය ඇප මත මුදා හැරීමෙන් අනතුරුව පොලීසිය නිරෝධායනයට යොමු කළ පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හා නිරෝධායනයෙන් නිදහස් කරන ලෙස නියෝගයක් කරන්නැයි ඉල්ලා මාලිගාවත්ත සමාධි ආයතනයේ විහාරවාසී තංගල්ලේ සාරද හිමියන් අද අභියාචනාධිකරණයට හබයාස් කොපූස් පෙත්සමක් ගොනු කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජගිරිය, මිරිහාන සහ තලංගම යන පොලිස්ථානවල ස්නාධිපතිවරුන් බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.