ණය අයකර ගැනීමේදී මානුෂීයව සලකා බලන්න - අගමැති

ණය අයකර ගැනීමේදී මානුෂීයව සලකා බලන්න - අගමැති

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  අද (16) අරලියගහ මන්දිරයේ දී මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

කොවිඩ් වසංගතය හමුවේ මෙරට ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීම සම්බන්ධව මෙහි දී මහබැංකු නියෝජිතයෝ අග්‍රාමාත්‍යතුමාට කරුණු පැහැදිලි කළහ.

මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ මුල්‍ය ණය පහසුකම් ලබා ගත් ජනතාව මුහුණ දෙන ගැටලු කෙරෙහි මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ විශේෂ අවධානය යොමු විය.

වාරික ගෙවීමේදී පොලිය මුලින් ගෙවීමට සිදුවීම තුළින් ණය මුදල ගෙවීමට නොහැකි වන තත්ත්වයට ණයකරුවන් පත්ව ඇති බවත් පොලිය මෙන්ම ණය මුදල ද ගෙවීයන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ණය ලබා දීමේ දී පදිංචි නිවස ඇපයට ගැනීමෙන් ණයකරුවන්ට නිවස ද අහිමවන අවස්ථා කොතෙකුත් ඇති නිසා, ඒ ගැන මානුෂීයව සලකා බලමින් එම ක්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහි ද මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.

මෙම අවස්ථාවට මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් , අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි එස්. සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.එම්.පී.රත්නායක, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂමන්, නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන් වන කේ.එම්.එම්. සිරිවර්ධන, එම්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර, සහකාර මහ බැංකු අධිපතිවරුන් වන ජේ.පී.ආර්.කරුණාරත්න, ඒ.ඒ.එම්.තාසීම්, ආර්ථික හා පර්යේෂණ අධ්‍යක්ෂ සී.අමරසේකර , බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂ සමන් නානායක්කාර මහත්වරු එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න