හොකී ක්‍රීඩාව මෙන්ම හොකී පරිපාලනය සම්බන්ධව මූලික සුදුසුකම් නොමැති පාර්ශ්ව වෙතින් ක්‍රීඩාව බේරගෙන නිවැරැදි මාවතට ගන්නවාද නැත්නම් සුපුරුදු දූෂිත නිලධාරී මණ්ඩලයට හොකී ක්‍රීඩාව බාරදී ඊට අවසන් ඇණයත් ගසනවාද යන්න එළැඹෙන නිලවරණයේදී තීරණය කළ යුතු බව හොකී ක්‍රීඩාවේ ප්‍රවීනයන් පවසයි.
ඔවුන් සඳහන් කර සිටින්නේ හිටපු දූෂිත නිලධාරි මඩුල්ල මෙවරත් අලුත් බෝතලයකට පරණ වයින් දමාගෙන පැමිණ ඇති බවයි.
මේ සම්බන්ධව අප වෙත අදහස් දක්වමින් හොකී ක්‍රීඩාවේ ප්රවීනයකු සඳහන් කර සිටියේ මෙරට හොකී ක්‍රීඩාව වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට හොකී ක්‍රීඩාව ගැන වගේම හොකී ක්‍රීඩාවේ පරිපාලනය ගැන විධිමත් අවබෝධයක් ඇති අයෙකු අවශ්‍ය බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
"කවුරු හරි ඇවිත් මේ ක්‍රීඩාව ගොඩ දාන්න බෑ. මේ වෙනකොට සභාපති ධූරය සඳහා ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයෙක් ඉදිරිපත් වෙලා.
දැන් අපිට හිතන්න පුළුවන් ද එයා හොකී ක්‍රීඩාව ගොඩදායි කියලා. අපි කියන්නේ හොකී නිලවරණය සඳහා ඉදිරිපත් වෙන්න ජාතික තලයේ හෝ හොකී ක්‍රීඩකයෙක් වෙන්න ඕන.
දැන් බලන්න ඒ ඇවිත් කොහොමද හොකී හදන්නේ අවුරුදු 17ක් තිස්සේ ක්‍රීඩාව විනාශ කරපු පාර්ශ්වය එක්ක ඇවිත් තියෙන්නේ.
අපි දැක්කා ප්‍රසිද්ධ පත්තරයකට කියලා තියෙනවා හොකී ක්‍රීඩාවේ මුදල් අක්‍රමිකතා වෙලා තිබෙනවා කියලා. ඉතින් ඒ පසුගිය 17 වසරේ ශාපය තමයි මුදල් අක්‍රමිකතා කරේ. ඒ ශාපය එක්ක තමයි ඔය කියන සභාපති වෙන්න එන පුද්ගලයා කණ්ඩායම හදාගෙන තියෙන්නේ.
දැන් අපිට ද කියන්නේ විශ්වාස කරන්න කියලා ? ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන් ගේ අගය කිරීම ගැනත් කියලා .. ඔය 17 ශාපලත් නිලධාරී මාෆියාව නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීදෙනෙක් ගෙදර ගිහින්ද බලන්න.
සමහර ක්‍රීඩකයන් යුක්තිය පතාගෙන අධිකරණයට පවා ගියේ ඔය නිලධාරී ශාපය නිසා. අපි කියන්නේ මේ පාරවත් හරි තීන්දුවක් අරගෙන හොකී ක්‍රීඩාවේ 17 වසරක ශාපය එළවමු කියලා. අපි කවදාවත් ඔය නිලවරණ ගැන කතා කරලා , ජන්දය ඉල්ලලා නෑ.
අපි බැලුවේ ක්‍රීඩාව ගැන විතරයි. බලාගෙන ඉන්න බැරිම තැන තමයි මෙහෙම හරි කතා කරන්න හිතුවේ."

