වෛද්‍යවරුන්ගේ පවුල්වලට පමණක් එන්නත් : ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල අතර බෙදීමක් !

වෛද්‍යවරුන්ගේ පවුල්වලට පමණක් එන්නත් : ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල අතර බෙදීමක් !
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත  විශේෂ වරප්‍රසාද ලබාදීමට පියවර ගැනීමත් කොරෝනා මර්දන ඉදිරිපෙළ කාර්‍ය මණ්ඩල අතර බරපතළ දෙකඩවීමක් ඇතිවීමේ අවධානමක් මතුව ඇත.
 
පරිපූරක වෛද්‍ය සේවා ඒකබද්ධ බලමණ්ඩල සභාපති රවී කුමුදේශ් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ, කිසියම් රෝහලක හෝ සෞඛ්‍ය ආයතනයක එක් වෘත්තියකට පමණක් විශේෂ සැළකිල්ලක් දක්වමින් එන්නත වරප්‍රසාදයක් ලෙස භාවිතා කිරීමට උත්සහ දරනු ලැබුවහොත් නැවත නොදන්වා ඒ මොහොතේ සිටම අනෙකුත් සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ එක්ව සේවාවෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.
 
පරිපූරක වෛද්‍ය සේවා ඒකබද්ධ බලමණ්ඩල සභාපති රවී කුමුදේශ් "සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පවුලේ සාමාජිකයන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම" යන ශීර්ෂයෙන් යුතුව ජනාධිපති වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.
 
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පවුලේ සාමාජිකයන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම" !
 
කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ගෝලීය සීමාන්තික සාධකයකි. එය ශ්‍රී ලාංකීය පුරවැසියන්ටද වඩාත් තදින් දැනෙන කාරණයක් වුවද රටට ලැබෙන සීමාසහිත එන්නත් ප්‍රමාණය වසංගතය පාලනයේ වුවමනාවන්ට අනූව ප්‍රමුඛතා අනුපිළිවෙලකට ලබා දීම ඉතා වැදගත්ය. ඒ අනූව එන්නත් වල පළමු ප්‍රමුඛතාවය සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබාදීමේ වාසිය රටක් ලෙස අප මේ මොහොතේ බුක්ති විඳිමින් සිටින්නෙමු.
 
කෙසේ නමුත් එන්නත් ලබා දීමේදී වෛද්‍ය නිළධාරීන්ගේ පවුල් වල සාමාජිකයන්ට විශේෂතාවයක් දක්වමින් එන්නත් ලබා දීමේ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බවත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලබාදී ඇති බවත් අප වෙත වාර්තා වී ඇත. එසේම ස්පුට්නික් V වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ඉතා සුළු ප්‍රමාණයක් රටට ලැබී ඇති බවත් එම එන්නත් ඉහත අවශ්‍යතාවය සඳහා පමණක් භාවිතා කිරීමට උත්සහ දරමින් සිටින බවත් අප වෙත වාර්තා වේ.
 
රටේ ඕනෑම පුරවැසියෙකු තමන්ට හෝ තම පවුලේ සාමාජිකයාට එන්නතක් ලබා දීම සඳහා තම තමන්ගේ සියළු හැකියාවන් භාවිතා කිරීම රෝගයකින් ගැලවීමට දරන අසාධාරණ උත්සහයක් නොවනු ඇත. නමුත් පරිපාලනමය වශයෙන් අදාල තීන්දු ගන්නා වෛද්‍ය නිළධාරීන් තම වර්ගයාට වඩා වැඩි සැලකිල්ලක් සිදු කිරීම සඳහා එන්නත භාවිතා කිරීම අප දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරමු. එසේම සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පවුල් වල සමාජිකයන් මේ මොහොතේ නිරායාසයෙන්ම සුවිශේෂ අවධානමකට ලක්වී ඇති කණ්ඩායමක් වන බැවින් රටේ පවතින එන්නත් ප්‍රමාණයද සැළකිල්ලට ගෙන ඊට අදාල ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සාධාරණීකරනය කළ හැකි වුවද එම අවධානම ආරක්ෂක අංශය, සනීපාරක්ෂණ අංශය ඇතුළු කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සිට විශේෂඥ වෛද්‍යවරයා දක්වා වූ සියළු කාර්ය මණ්ඩලයේ පවුල් වල සාමාජිකයන්ට එක හා සමානව බලපැවැත්වෙන අවධානමක් මිස එක වෘත්තියකට පමණක් සීමා වන අවධානමක් නොවන බව අවධාරණය කරමු.
 
උක්ත කරුණු පිළිබඳ ඔබගේ දැඩි සැලකිල්ල යොමු කරමින් අසමාන සහ අසාධාරණ ලෙස වෛද්‍ය පරිපාලනය විසින් ගෙන ඇති ඉහත තීන්දුව අහෝසි කිරීමට හෝ සියළු කාර්ය මණ්ඩලයන්ට පොදු තීන්දුවක් ලෙස හෝ ක්‍රියාත්ක කිරීමට වහා පියවර ගන්නා ලෙස කාරුණිව ඉල්ලා සිටිමු. එසේම කිසියම් රෝහලක හෝ සෞඛ්‍ය ආයතනයක එක් වෘත්තියකට පමණක් විශේෂ සැළකිල්ලක් දක්වමින් එන්නත වරප්‍රසාදයක් ලෙස භාවිතා කිරීමට උත්සහ දරනු ලැබුවහොත් නැවත නොදන්වා ඒ මොහොතේ සිටම අනෙකුත් සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ එක්ව සේවාවෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවද ඉතා කණගාටුවෙන් දන්වා සිටිමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න