නිදහස් සෞඛ්‍ය සේවාවත් කම්මුතු ද?

නිදහස් සෞඛ්‍ය සේවාවත් කම්මුතු ද?
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට ඉතා දිගු ඉතිහාසයක් තිබේ. අනුරාධපුර, පොළොන්නරු යුගවලදී පවා විධිමත්ව සංස්ථාපිත නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට තිබුණි. මිහින්තලේ සහ මැදිරිගිරියේ පුරාණ රෝහල්වල අදටත්  පවතින පුරාවිද්‍යා නටබුන් ඊට ජීවමාන සාධක වන්නේය.
 
යටත් විජිත පාලන සමයේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී හුද දේශීය නිදහස් වෛද්‍ය සම්ප්‍රදාය උල්ලංඝනය කරන්නට පියවර ගත්තේ නැත. බ්‍රිතාන්‍ය පාලන සමයේ බටහිර වෛද්‍ය ක්‍රමය මෙරට ස්ථාපිත කරන ලද්දේ ද සිංහල රාජධානි සමයේ සිට මුල් බැස තිබූ දේශීය වෙද සම්ප්‍රදායේ පදනම මතය. දොස්තර ආර්.එල්. ස්පිට්ල් ඉංග්‍රීසි බෙහෙත් රැගෙන බින්තැන්නට පොල්ලෙ බැද්දට ගොස් වැදි ජනතාවට නොමිලේ බෙහෙත් කළ අන්දම අපි දනිමු. 
 
කොළඹ ඇස් වාට්ටු හංදියේ වික්ටෝරියා අනුස්මරණ රෝහල ඇතුළු රෝහල් පද්ධතිය බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදි කරන ලද්දේද රෝගී මෙරට ජනයාට නොමිලේ වෙදකම් කරන්නටය. බටහිර වෛද්‍ය ක්‍රමය ග්‍රාමීය රෝහල් සහ ජංගම ඩිස්පැන්සරි දක්වා ගොඩනැගුණේ ජාතික නිදහස ලැබෙන්නටත් පෙරය.
 
 දේශීය වෛද්‍ය සම්ප්‍රදායේ අක්මුල් සිඳ දමන්නට අධිරාජ්‍යවාදීන්ටද නොහැකි විය. පන්ති භේදයෙන් තොරව රජයේ රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ගන්නට සමාජයේ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට මේ දක්වා හැකියාව තිබුණි. 
නිදහස් රෝහල් සේවාව අපට අතීතයෙන් ලැබුණු මහඟු දායාදයක් වූයේය. 
 
ගතවූ වසර 72 ඇතුළත සෑම රජයක්ම ජාතික නිෂ්පාදනයේ සෑහෙන පංගුවක් වෙන් කොට නිදහසේ සෞඛ්‍ය සේවාව නඩත්තු කළේය. 
 
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ සියවසකින් මෙපිට අප මුහුණ දෙන දැවැන්තම සෞඛ්‍ය අභියෝගයටය. ගෝලීය කොවිඩ් 19 වසංගතය මෙරට ජනයා බිලි ගණිමින් සිටී. නිදහසේ සෞඛ්‍ය සේවාව ව්‍යසනය කළමණාකරණය කර ගන්නා අන්දම ගැන මර බියෙන් දැවෙන ජනතාව දෑස් අයා බලා සිටී. 
 
නමුත් සියවස් ගණනාවක් පැරණි නිදහස් සෞඛ්‍ය සේවාව ප්‍රථම වරට එකම හැන්දෙන් බෙදීම නවතා දමා තිබේ. වර්තමාන ආණ්ඩුව කොරෝනා ආසාධිතයන්ට දෙයාකාරයකට සලකන්නට පටන් ගෙන තිබේ. කොවිඩ් 19  ආසාධිත ඇති හැකි අය සියළු වෛද්‍ය පහසුකම් ඇති අයි.ඩී.එච්, නෙවිල් ප්‍රනාන්දු, මුල්ලේරියාව ආදී   ප්‍රමුඛ රෝහල්වලට ගිලන් රථවලින් රැගෙන යන අතර ප්‍රභූ සමාජයට අයත් නොවන නැති බැරි ආසාධිතයින් බස්වල පටවා වෛද්‍ය පහසුකම් කිසිවක් නැති පූනානි, කන්දකාඩු, කාත්තන්කුඩි ආදී රැඳවුම් කඳවුරුවල ගාල් කරනු ලැබේ. 
 
මෙය නිදහස් සෞඛ්‍ය සේවාවේ හදවතටම එල්ල කළ මරු පහරකි. 
 
මේ දිනවල වසංගතයෙන් මියැදෙන බහුතර ජනයා එසේ දිවයිනේ එහා කෙළවරට ගෙන ගොස් ගාල් කරනු ලැබූ අහිංසක කොරෝනා ආසාධිතයෝය. අගනුවර ප්‍රභූ සමාජයේ ආසාධිතයෝ රෝග ලක්ෂණ කිසිවක් නැති නමුදු වෙන්ටිලේටර්ස්, දැඩි සත්කාර ඒකක සහිත රෝහල්වල ඇඳන් අරා සිටිති. 
 
මේ දිනවල ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය  කොරෝනා ආසාධිතයින් ගැන තීන්දු ගන්නේ ඔවුන්ගේ රෝග තත්ත්වය අනුව ජීවිතයට තිබෙන අනතුර ගැන සලකා නොවේ. කොවිඩ් ආසාධිතයාගේ වයස, ඔහු ගොදුරුවී සිටින බෝනොවන රෝග, වෙනත් සංකූලතා, අසාත්මිකතා හෝ පෙන්වන අනෙකුත් රෝග ලක්ෂණ ගැන සෞඛ්‍ය අංශ සලකා බලන්නේ නැත. ඔවුන් සැලකිල්ලට ගන්නේ රෝගියා කාගේ කවුද, ඔහුගේ දේශපාලන සම්බන්ධතාවය කුමක්ද, සමාජ තරාතිරම කුමක්ද යන්නය. ඒ අනුව මේ වනවිට කොළඹ අංගසම්පූර්ණ කොවිඩ් රෝහල්වල ප්‍රභූ පැලැන්තියේ ආසාධිතයෝ ලැගුම් ගෙන සිටිති. කොවිඩ් රෝගයට ගොදුරු වූ දහස් ගණන් දිළිදු මිනිසුන් අවම පහසුකම් හෝ නැති, උතුරු නැගෙනහිර පළාත්වල කදවුරුවලට ගාල් කර ඇති අතර ඔව්හු පිළිසරණ අහිමිව මියෙනතුරු බලා සිටිති.   
 
ඉතිහාසයේ ප්‍රථම වරට මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ පදනම බිඳ වැටෙමින් තිබේ.
 
උදේනි සමන් කුමාරගේ
 
(Facebook ගිනුමෙනි)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න