දූෂණ හා වංචා සම්බන්ධව සිදුකරන විමර්ශන ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සඳහා අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කර ඇත.
වෛද්‍ය රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පෙරේරා යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත මෙම කමිටුවේ ලේකම්වරයා ලෙස නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්වරයා පත්කර ඇත.
26 වනදා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදී මෙම කමිටුව පත්කර ඇති අතර දූෂණ හා වංචා මැඬලීම සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු අමාත්‍ය සාගල රත්නායක ලබා දී තිබූ වාර්තාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර ඇත.
බොරු වැඩක් - දුෂණ විරෝධීන්
අග්‍රාමාත්‍යවරයා විසින් දුෂණ හා වංචාවන් සම්බන්ධව සිදුවන විමර්ශන කඩිනම් කිරීමට පත්කර ඇති ත්‍රිපුද්ගල ඇමති කමිටුව තවත් සංදර්ශනයක් පමණක් බව දුෂණ විරෝධී සංවිධාන සඳහන් කර සිටියි.
කමිටුව සම්බන්ධ සිය ප්‍රතිචාරය දක්වමින් දුෂණ විරෝධී සංවිධාන ක්‍රියාකාරිකයකු අප සමඟ සඳහන් කර සිටියේ දුෂණ හෝ වංචා සම්බන්ධව කටයුතු කිරීමේදී වත්මන් පාලනයේ අවංකභාවය පිළිබඳ මේ වන විට ජනතා විශ්වාසය බරපතල ලෙස කඩවී ඇති බවය.
අගමැති විමල්ව බේරපු තැනින් පටන් ගන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් විදෙස් ගමන් බලපත් දෙකක් භාවිතා කිරීම සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග යටපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා මැදිහත්වූ බවට පසුගියදා එජාප මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී හෙළිකර සිටි බවත් එහෙයින් අග්‍රාමාත්‍යවරයා දුෂණ හෝ වංචා විමර්ශනයට අවංකව කැපවෙනවා නම් ඒ තමන් විසින් මැදිහත්ව නැවැත්වූ සිදුවීමෙන් එම කටයුතු ආරම්භ කළ යුතු බවද දුෂණ විරෝධී ක්‍රියාකාරීන් සඳහන් කරයි.
අපරාධ යුක්තිය පිළිබඳව විශ්වවිද්‍යාලයක්
මේ අතර අපරාධ යුක්තිය පිළිබඳව විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් හා තලතා අතුකෝරළ හා සාගල රත්නායක යන ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත්කිරීමද 26 වනදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී සිදුව ඇත.
තවද පොලිස් දෙපාර්තමේන්තුවේ දේශපාලන පළිගැනීම්වලට අදාළ අභියාචනා පිළිබඳව කටයුතු කඩිනම් කිරීම පිණිස තිලක් මාරපන, රංජිත් මද්දුමබණ්ඩාර හා සාගල රත්නායක යන අමාත්‍යවරුන්ගෙන් යුතු කමිටුවක් ද පත් කර ඇති බව වාර්තා වෙයි.
මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, පොලිස්පති පූජිත ජයසුන්දර, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී එම්.ආර්. ලතීෆ්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර සිටියි.

