ලසන්ත ඝාතන පරීක්ෂණ හමුවේ හිටපු ආරක්ෂක ප්‍රධානියෙක් රත්වෙයි

ලසන්ත ඝාතන පරීක්ෂණ හමුවේ හිටපු ආරක්ෂක ප්‍රධානියෙක් රත්වෙයි

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව තමන්ව අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පතිවරයෙකු වන ජයන්ත වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බව වාර්තා වෙයි.

හිටපු පොලිස්පතිවරයා ගොනුකර තිබෙන මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම හරහා වග උත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කොට ඇත.

කෙසේ වුවත් ඔවුන් සියලු දෙනා වෙනුවෙන් නීතිපතිවරයා සිය විරෝධතාවයන් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බවද අධිකරණ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

හිටපු පොලිස්පතිවරයා මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් තිබෙන්නේ එම සමයේ පොලිසියේ ඉහළ තනතුරු හෙබවූ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුම මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර ඇති නිසාය.

ඒ අතර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරි යන අය මේ වන විට අක්ෂිත බන්ධනාගාරගතකර කර තිබේ.

ඒ ලසන්තගේ ඝාතනයෙන් පසු එහි පරීක්ෂණ කටයුතු නිසි ලෙස සිදුනොකොට එම ඝාතනයට වගකියයුතු පුද්ගලයින් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සහ සාක්ෂි වසන් කිරීමේ චෝදනා යටතේය.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාටද චෝදනා එල්ල වී තිබුණු අතර පසුගිය සමයේ එම පරීක්ෂණ කටයුතු ඉතා මන්දගාමී බවට චෝදනාද එල්ලවී තිබිණ.

මේ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන සිද්ධියට අදාළව පොලිස් අත්අඩංගුවේ පසුවන අධිකාරිවරයා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් සිදු කර තිබෙන බවද වාර්තා වෙයි.

අධිකරණ ආරංචිමාර්ග සඳහන් කර සිටින ආකාරයට ඊයේ(21) මහේස්ත්‍රාත් නිල මැදිරියේදී මෙම ප්‍රකාශය සිදුකර ඇති අතර එහිදී තම ප්‍රකාශය ස්වේච්ඡාවෙන් සිදුකරන්නක් බවට මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

පැය 3 කට ආසන්න කාලයක් මෙම ප්‍රකාශය සිදු කර ඇති අත‍ර මීට පෙර ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන පරීක්ෂණවලට අදාළ ලිපි ගොණුවල පිටු කිහිපයක් ඉවත් කර ඇත්තේ ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීම යටතේ බවට රහස් පොලිසිය පසුගියදා අධිකරනයට කරුණු වාර්තා කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න