ගිය එක හොඳයි කිව්ව ෆොන්සේකාට : මංගලගෙන් කණ රත්වෙන උත්තරයක් !

ගිය එක හොඳයි කිව්ව ෆොන්සේකාට : මංගලගෙන් කණ රත්වෙන උත්තරයක් !

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් පසුගියදා මීරිගම ප්‍රදේශයේ පැවති රැස්වීමක දී සිදුකළ ප්‍රකාශයකට හිටපු අමාත්‍ය මංගල සමරවීර දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇත.

අදාළ රැස්වීමේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබුණේ " මංගල සමරවීර මහ මැතිවරණය ආසන්න වනතුරු නොසිට කලින්ම මැතිවරණ සටනින් ඉවත් වීම 'සමගි ජන බලවේගයට' සැඟවී ආ ආශිර්වාදයක් බවය.

එසේම තවදුරටත් මංගල  මැතිවරණ සටනේ සිටියේ නම් බුදුදහමට හා භික්ෂූන් වහන්සේලාට බැනීමට පටන් ගතහොත් එය සමගි ජන බලවේගයට බරපතල ගැටලුවක් වියහැකි බවත් එසේ වූයේ නම් සමගි ජන බලවේගයට තිබෙන ඡන්ද ටිකත් අහිමි වන බවත් හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් පවසා තිබිණ.

මේ සම්බන්ධව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර දැක්වූ ප්‍රතිචාරය පහත දැක්වෙයි.

හිතවත් සරත්,

ඔබගේ දේශපාලන පාරාජිකභාවය මගේ නමට බැර කිරීමට දරණ උත්සාහය පිළිබඳ පළමුව කණගාටු වෙමි. ඔබගේ දේශපාලන විවේචනය සාධාරණ නම්, ඔබගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණ 2015 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කර කොළඹ දිස්ත්‍රික්කයෙන්  ඡන්ද 5,238 (0.43%)ක් ද මුළු ලංකාවෙන්ම ඡන්ද 28,587 (0.26%) ලබා අන්ත පරාජයට පත් වූයේ ද මාගේ දේශපාලන භාවිතාව නිසා දැයි දැන ගැනීමට කැමැත්තෙමි. අනෙක පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබ නායකත්වය ලබාදුන් කැළණිය ආසනයෙන් සජිත් ප්‍රේමදාස  මහතා ඡන්ද 16,147කින් පරාජය වූයේ ඔබගේ දේශපාලන පාරිශුද්ධකම නිසා දැයි නොදනිමි.

වැඩිදුරටත් ඔබගේ දැනගැනීම පිණිස මෙසේ ද සටහන් කරමි. මා 1989 සිට මේ දක්වා පැවැති සියලු මැතිවරණ සඳහා තරඟ කර ඇති අතර ඒ සෑම අවස්ථාවක දීම මාගේ ප්‍රතිපත්ති හා මාගේ දේශපාලන විශ්වාසයන් ඍජුව ප්‍රකාශ  කරමින්, මා ජයග්‍රහණය  කළා පමණක් නොව මා නියෝජනය කළ දේශපාලන පක්ෂය ද ජයග්‍රහණය  කරවා ඇත.

නමුත් 2015 පරාජිත ඔබට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමි වූයේ ද එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය නිසා මන්ත්‍රීධුරයක්  පුරප්පාඩු වූ විට එක්සත් ජාතික පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ  මහතාගේ අනුකම්පාවේ පිහිටෙන් බව මතක් කර දෙමි. අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී  ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි.

ඒ වගේම මා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගැනීමට හේතු වූ කරුණු අතර ඔබ වැනි යුධපිටියේ සිටිය යුතු යුද විරුවන් නොදන්නා දේශාපාලනයක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවීම ද එක් කරුණක් බව සිහිපත් කරමි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න