ඉදිරි මහා මැතිවරණය පැවැත්වීම සහ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්වය පිලිබද මෙහිදි වැඩි අවධානයක් යොමුවනු ඇති බවත් වාර්තා වෙයි.
මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත තත්වයක් රට තුළ පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් මැතිවරණ කොමිසම වෙත කරුණු ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා , රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරින් පිරිසක් සහභාගිවන බව මැතිවරණ කොමිසම් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
නමුත් මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ දේශපාලන විචාරකයන් විසින් කොවිඩ් 19 වෛරසය මැඩීමට සමගාමීව අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් වන ජනාධිපති විශේෂ කාර්‍ය් සාධක බලකායේ ප්‍රධානියා වන බැසිල් රාජපක්ෂ මෙම සාකච්ඡාව සඳහා කැඳවා නො තිබීම ගැන වැඩි උනන්දුවක් ඇතිව අදහස් දැක්වීමය.
මෙම ප්‍රසිද්ධ සාකච්ඡාව සඳහා බැසිල් රාජපක්ෂ කැඳවා නොතිබීම ගැටලුවක් බවත් මේ පවතින තත්ත්වය සම්බන්ධ වූ ඔහුගේ ස්ථාවරය, කොවිඩ් වසංගතය තුළ සේවා සැපයීමේ අභියෝග සහ අත්දැකීම් මැතිවරණ කොමිසම වෙනත් ආකාරයකට විමසන්නේ ද, නැත්නම් මීට පෙර අවස්ථාවක ගෙන තිබේද යන්න ගැනත් ඔවුන් වැඩි උනන්දුවක් ඇතිව අදහස් දක්වන බවක් පෙන්නුම් කෙරිණ.
ආරක්ෂක අංශ වෙනම ?
මේ අතර මැතිවරණ කොමිසම සහ ආරක්ෂක අංශ ප්‍රධානින් අතර විශේෂ සාකච්ඡාවක් මෙම සතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති බව අද දෙරණ වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ සඳහා මේ වන තෙක් නිශ්චිත දිනයක් තීරණය කර නොමැති බවත් එහි දැක්වෙයි.
කෙසේ වුවත් පාලිමේන්තු මහ මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබු අතර කොවිඩ්-19 වෛරස අවධානම හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිසම විසින් පියවර ගනු ලැබුවේය.
විචාරකයන් පෙන්වා දෙන්නේ මහ මැතිවරණය කල් තැබීමේ තීන්දුව අප්‍රේල් පළමු වෙනිදා මැතිවරණ කොමිසම ගන්නා විට තිබූ තත්වයට සාපේක්ෂ ව මේ මොහොතේ පවතින තත්ත්වය බරපතල බව ය.
ඒ අනුව විචාරකයන් පවසන්නේ මැතිවරණ දිනය තීරණය කරනවා නම් සෞඛ්‍ය අංශයේ බලධාරීන් , කොවිඩ් මැඩීමේ විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු එහි ප්‍රධානීන් , සැපයුම් අංශ ප්‍රධානී බැසිල් රාජපක්ෂ ඇතුළු සියලු දෙනා සමග එකට සාකච්ඡා කර තොරතුරු ලබා ගත යුතු බව ය.
සභාපති මහින්ද පැණි කන්න සූදානම් !
මේ අතර අද උදෑසන විද්‍යුත් නාලිකාවක් සමග පැවැති දුරකථන සංවාදයක දී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියේ පක්ෂපාතීත්වයකින් තොරව මහමැතිවරණය සම්බන්ධව ජනතාවට වඩා වැදගත්වන තීන්දුවක් ගන්නා බවය.
එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ කොරෝනා වසංගතයේ සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දක්වා ඇති සියලු කරුණු සලකා බැලිය යුතු බවයි.
එනිසාවෙන් වඩාත් ජනතාවට සුදුසු තීන්දුව ගැනීමට තමා උත්සහ දරණ බවත් පැවසු මැතිවරණ කොමිසමේ සභාපති පැවසීය.
ඔහු මතුව ඇති තත්ත්වය “මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කනවා “ යන පිරුළට ආදේශ කළ අතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව , ජනතාව, කොරෝනා වසංගතය, නිලධාරීන් මේ සියලු දෙනා පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇතැයි ද කියා සිටියේය.
නමුත් තම පක්ෂපාතීත්වය ඇත්තේ සෑම විටම ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට, ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවට බවද ඔහු පැවසූ අතර දිනය තීරණය කිරීම ගැන කොමිෂන් සභාවේ කථා කළ යුතු බවත් තමාට කිසි විටෙකත් මේ ගැන තනි තීරණයක් ගත නොහැකි බවත් කියා සිටියේය.

