කොරෝනා වෛරසය තුලින් ඇති වෙලා තිබෙන ඉතාමත් පීඩනකාරී තත්වය තුළ සහන ලබාදීමේ ක්‍රියාවලියද සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයට ලක්ව ඇති බව හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන පළාත්පාළන මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් සහන ලැබීමට සුදුසුකම් ලැබිය යුතු කොට්ඨාශයන් තේරීම තුළ ඉතාමත්ම අසහනයකට පත් වූ ජනතාව තවත් පීඩනකාරී තත්වයකට පත්ව ඇති බවත් දේශපාලනීකරණයට ලක්වුණු මේ සහන යාන්ත්‍රණයෙන් ග්‍රාම නිලධාරීන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මේ බව පවසා සිටියේ අද (17) මාධ්‍ය වෙත විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් ය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කර සිටී.
ග්‍රාමනිලධාරී ප්‍රජාවට තේරිලා තබෙනවා සහන ක්‍රියාවලිය දේශපාලනීකරණයට ලක්වී තිබෙන බව. ඔවුන්ට පරස්පර චක්‍රලේඛන එවනවා. පරස්පර නියෝග එවනවා. දේශපාලන නියෝජිතයින්ට සුදුස්සන් තේරීමේ අවස්ථාව ලබාදීම තුළ. මේ දේශපාලනීකරණය තුළ සුදුස්සන් තේරීම නතරවෙලා හිතවතුන්ට සහන ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවට අද බොහෝ දෙනා චෝදනා කරනවා. මම අහන්න කැමතියි මේ කොරෝනා විපත තුළත් අපේ රටේ ජනතාවට සහන ලබාදීමේ ක්‍රියාවලිය පළාත්පාළන මන්ත්‍රීතුමන්ලාගෙන් විශේෂයෙන් ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙන්නෙ ඇයි කියලා. එය කිරීම සාධාරණද? එය සදාචාරසම්පන්නද? ග්‍රාමනිලධාරීතුමන්ලා බොහොම පැහැදිළිව ඉවත්වී තිබෙනවා මේ ක්‍රියාවලියෙන්. ඒ මොකද ඒ අයට පෙනිලා තිබෙනවා මේ ක්‍රියාවලියේ තිබෙන දුර්වලතාවය. මේ ක්‍රියාවලියේ තිබෙන අඩුපාඩුකම්. අසාධාරණකම්.
සහන යාන්ත්‍රණයේ ප්‍රධාන අඩුපාඩුව !
සහනදීමේ යාන්ත්‍රණයේ තිබෙන ප්‍රධානතම අඩුපාඩුව තමයි දේශපාලනීකරණයට ලක්වූ සහන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම. ඒ නිසා මම රජයෙන් බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා තමන්ගේ පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලාගෙන් සහන ලබාදීමේ යාන්ත්‍රණය වහාම අත්හිටුවන්න. ඒක භාරදෙන්න අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ට. අපේ රටේ රාජ්‍ය නිලධාරීන් කෙරෙහි විශ්වාසය තමන්න. රාජ්‍ය නිලධාරීන්ට හැකියාව තිබෙනවා, උවමනාව තිබෙනවා සාධාරණව අපක්ෂපාතීව කටයුතු කරන්න. එනිසා කරුණාකරලා සහන දීමේ යාන්ත්‍රණය සහමුලින්ම දේශපාලනයෙන් ඉවත් කරලා මේ රටේ කීර්තිමත් රාජ්‍ය සේවයට භාර දෙන්න. විශේෂයෙන්ම ග්‍රාමනිලධාරීතුමන්ලා බිම්මට්ටමේ ජනතාවගේ දුකසැප හඳුනාගන්නා වූ හොඳම නිලධාරියායි. ඔවුන්ට හිමිතැන ලබාදෙන්න. මෙම ක්‍රියාවලිය විනිවිදභාවයකින්, විවෘතව, සාධාරණව, යුක්තිසහගතව, මනුෂ්‍යත්වයට මුල්තැන ලබා දීල කරන්න. ග්‍රාමනිලධාරීතුමන්ලා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්ට පවරා සහන දීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න කියලා මම නැවත වරක් රජයෙන් ඉල්ලීමක් කරනවා.

