අන්තර්ජාලයේ විවේචකයන්ට දඬුවම් කරන්න පොලිසියට නීතිමය බලයක් නෑ !

අන්තර්ජාලයේ විවේචකයන්ට දඬුවම් කරන්න පොලිසියට නීතිමය බලයක් නෑ !

කෝවිඩ් වසංගත සමයේ රාජ්‍ය නිලධාරින්ගේ දෝෂ විවේචනය කරන මහජනතාවට දඬුවම් කිරීමට පොලිසිය ගෙන ඇති තීරණය රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීමේ වෑයමක් ලෙසට දිවයිනේ මානව හිමිකම් ක්‍රියාධරයන් පිරිසක්  විසින් අභියෝගයට ලක් කර තිබේ.

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ සංවිධාන නමයක් සහ ක්‍රියාකාරීන් හතලිස් හය දෙනකුගේ එකගතාවයෙන් යුතුව වැඩ බලන පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති ලිපියක් මගින් පෙන්වා දී ඇත්තේ රාජ්‍යය  "විවේචනය" කරන  පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කිසිම නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවයි.

අසත්‍ය  හෝ ද්වේශ සහගත පණිවුඩ, ප්‍රවෘත්ති හෝ තොරතුරු  පතුරුවා හරින හෝ බෙදා ගන්නා අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා  මාර්ග ගන්නා බවට 2020 අප්‍රේල්  1 වන දින වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ උපදෙස් පරිදි පොලිස් මුලස්ථානය විසින් සියලු මාධ්‍ය  ආයතන වෙත  නිවේදනයක් නිකුත් කර තිබුනි.

සිය රාජකාරි ඉටුකරන රාජ්‍ය  නිලධාරීන් "විවේචනය කරමින්", ඔවුන්ගේ "සුළු අඩුපාඩු" මතු කර පෙන්වන, ඔවුන්ට "බැන තර්ජන කරන" අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට කළ නිවේදනය, අදහස් ප්‍රකාශ  කිරීමේ නිදහසට  විශේෂයෙන්ම විරුද්ධ අදහස් ප්‍රකාශ  කිරීමේ නිදහසට අහිතකර ලෙස බලපාන බව  පොලිස්පතිවරයා වෙත මානව හිමිකම් ක්‍රියාධරයන් විසින්  යොමු කළ ලිපිය මගින් පෙන්වා දී තිබේ.

ප්‍රශ්න කිරීම පුරවැසි අයිතියක් 

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය වෙතද පිටපත් යොමු කොට ඇති එම ලිපිය මගින් තව දුරටත් පෙන්වා දී ඇත්තේ ව්‍යවස්ථාවෙන්  සහතික කරන ලද  නිදහස  යනු “රාජ්‍යය  තම ක්‍රියාවන්වලට වග වීම සහතික කරන යතුරක්” වන අතර රාජ්‍ය  නිලධාරීන්ගේ ක්‍රියා සහ සේවය පැහැර හැරීම්  ගැන ප්‍රශ්න  කිරීම සෑම  පුරවැසියකුගේම පුරවැසි අයිතියක් බවයි.

එබැවින් එය රාජ්‍ය  නිලධාරීන්ගේ රාජකාරියට අවහිර කිරීමක් සේ අර්ථකථනය නොකළ යුතු බව එහි අවධාරණය කර ඇත.

අසත්‍ය  හෝ ද්වේශ සහගත හෝ  තොරතුරු පැතිරීම වැළැක්වීම සහ රාජ්‍ය  නිලධාරීන්ගේ සේවයට බාධා පමුණුවන හෝ  ඔවුන්ට තර්ජනය කරන අයට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමේ අවශ්‍යතාවයද පිලිගන්නා එම ලිපිය මගින් තව දුරටත් පෙන්වා දී ඇත්තේ, රාජ්‍ය  නිලධාරීන් විවේචනය කිරීම යනු ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමකට සහ වැරදි තොරතුරු පතුරුවා හැරීමකට සමාන ක්‍රියාවක් ලෙසින් පොලිස් මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක මගින් සලකා ඇති බවයි.

එම  නිවේදනය රාජ්‍ය  බලය අසාධාරණ ලෙස පාවිච්චි කිරීමක් සහ රාජ්‍ය සහ එහි නියෝජිතයන්ට වග වන ලෙස බලපෑම් කිරීමේ පුරවැසි අයිතියට බාධා කිරීමක් බව එම ලිපියේ වැඩි දුරටත් සදහන්ය.

''වැඩ බලන පොලිස්පතිගේ නිවේදනය රාජ්‍ය  බලය අසාධාරණ ලෙස පාවිච්චි කිරීමක් සහ රාජ්‍ය සහ එහි නියෝජිතයන්ට වග වන ලෙස බලපෑම් කිරීමේ පුරවැසි අයිතියට බාධා කිරීමක්''

ජනතාවගේ  නිදහසට සීමා පැනවීම සහ බලය අවභාවිත කිරීම  කිසි ලෙසකින් සාධාරණීකරණය කළ නොහැකි අතර, වසංගතය පාලනය කිරීමට එහි කිසිම දායකත්වයක් ද නොමැති බවද මානව හිමිකම් ක්‍රියාධරයන් වැඩ බලන පොලිස්පති සී ඩී වික්‍රමරත්නට  පෙන්වා දී තිබේ.

"විනිවිද භාවය සහ තොරතුරු  කාලීන මෙන්ම  මහජනතාවට පහසුවෙන් ලබා ගැනීමට හැකිවීම මගින් රාජ්‍ය කෙරෙහි ජනතා විශ්වාසය ඇතිවීම කෝවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය  සාධක වේ."

"විවේචනයේ අවකාශය සීමා කරන ජනතාවට කරුණු පැහැදිලි කර ගැනීම වළක්වන සහ රාජ්‍ය  නිලධාරීන් ගේ වගවීම අවහිර කරන මෙම මර්දනකාරී සහ දඬුවම් කිරීමේ අභිලාෂය සහිත ක්‍රියා  මගින් නිසැකවම එහි ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය ඇති කරනු ඇත. "

"එමගින් බිය, සංත්‍රාසය සහ මහජන  ව්‍යාකූලතාවයන් ඇතිවිය හැක."

ඒ මගින් නොයෙකුත් මැරවර කම් සහ දේශපාලන පෙළඹවීම් සහිත රාජ්‍ය  බලය අවභාවිත කිරීම් ඇතිවිය හැකි බවටද නිවේදනය මගින් වැඩ බලන පොලිස්පතිවරයාට  දන්වා තිබේ.

පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය  පොලිස්පතිට සහ දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට එවැනි පුද්ගලයන්ට එරෙහිව "දැඩි ලෙස නීතිය පාවිච්චි කරන ලෙසත්" , ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔවුන් උසාවියට ඉදිරිපත් කරන ලෙසත් ඔවුන්ට එරෙහිව තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්  කියා සිටීම  බලවත් වික්ෂිප්තභාවයකට හේතු වන අතර එය අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමකට සහ බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමකට හේතුවන නීති විරෝධී ක්‍රියාවක් විය හැකි බවද ලිපියේ වැඩි දුරටත් සදහන්ය.

ජාතිවාදීන්ට විරුද්ධව නීතිය යොදවන්න 

91577389 1581739188642194 3177106515668500480 n
"එමෙන්ම  ඇතැම් වාර්ගික සහ ආගමික ජන කොටස්වලට අයිති පුද්ගලයන් කොවිඩ් පැතිරවීම වැඩි කිරීමට කටයුතු කරන්නේ යැයි කියමින් එම ජනකොටස්වල පුද්ගලයන් ඒ හේතුවෙන් තර්ජන, බිය ගැන්වීම් සහ ප්‍රචණ්ඩත්වයේ අවදානමට ලක් කර, ඔවුනට එරෙහිව ‘වෙනස් කොට සැලකීම, සතුරුභාවය සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට හේතුවිය හැකි වෛරය’ පැතිරවීමට සම්බන්ධ වන අයට එරෙහිව නීතිය  දැඩි සේ ක්‍රියාත්මක කරන ලෙස ද අපි ඔබෙන් විශේෂයෙන්ම  ඉල්ලා සිටිමු," යි  එම ලිපියේ  සඳහන්ව තිබේ.

රාජ්‍ය සේවකයන් විවේචනය කිරීම සඳහා මහජනතාව සතු අයිතිය පහදා දෙමින් ශ්‍රී ලංකාවේ ක්‍රියාධාරීන් පොලිස් ප්‍රධානියාට ලිපියක් යැවීම හා සමගම වාගේ වාර්තාවක් නිකුත් කරන ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවේදිනි යැස්මින් සූකා ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ව්‍යාපෘතිය (ITJP) දිවයිනේ කෝවිඩ් 19 මර්දනය හා සහන සැලසීම සඳහා අලුතින් පිහිටුවන ලද ප්‍රධානතම රාජ්‍ය  ආයතන දෙකක නිලධාරීන් දැඩි විවේචනයට ලක් කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න