යම් පුද්ගලයෙකුගේ දේහ ලක්ෂණ අනුව ඔහු හෝ ඇයගේ ගතිගුණ ගැන නිගමනවලට එළඹීම සාමාන්‍ය ජන ජීවිතය තුළ බහුලව දැකිය හැකි තත්ත්වයකි.
දේහ ලක්ෂණ අනුව ගතිගුණ ගැන නිගමනවලට එළඹීමෙන් ඇතැමුන් වෙනස් කොට සැලකීමද සමාජය තුළ දක්නට ලැබේ.
"මගේ කකුලේ දෙවෙනි ඇඟිල්ල අනෙක් ඇඟිලිවලට වඩා කුඩාවට පිහිටලා තිබෙන්නේ. මම පුංචි කාලේ ඉඳන් මේ දේට මිනිස්සු මට එක එක දේවල් කිව්වා. මට මෙය දැඩි මානසික වදයක් වුණා. හැබැයි මම කොහොම හරි ඒවා විඳ දරා ගත්තා. නමුත් කසාද බැන්දට පස්සේ සියල්ල වෙනස් වුණා," නම හෙළි කිරීමට අකමැති කාන්තාවක බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් විස්තර කළාය.
"දෙවෙනි ඇඟිල්ල පුංචි වුණා ම ස්වාමි පුරුෂයා මැරෙනවා කියලා හැමෝම මට කියනවා. මගේ සැමියාගේ පවුලේ අය මට සෑහෙන්න දොස් කියනවා මේ දේට. එයාලගේ හිතේ ඒ අයගේ පුතා මැරෙයි කියලා මම නිසා. මගේ සැමියා මේවා මුලින් විශ්වාස නොකළට, හැමෝම කියන කොට එයත් ටිකක් වෙනස් වුණා."
"මම මොන වැඩේ කරන්න ගියත් සැමියාගේ ගෙදර අය මගේ කකුලේ ඇඟිලි දිහා බලාගෙන ඉන්නවා. දැක්ක තැන අපහාස කරනවා. අපි ජීවත් වෙන්නේ සැමියාගේ මහගෙදර. මේ කරදර නිසා මම දරුණු විදිහට මානසික පීඩනයක ඉන්නේ," ඇය හැඬූ කඳුළින් පැවසුවාය.
දේහ ලක්ෂණ ගැන සමාජයේ පවතින මත මොනවා ද?
කාන්තා දේහ ලක්ෂණ
පාදයේ දෙවන ඇඟිල්ල මහපට ඇඟිල්ලට වඩා දිගින් වැඩි නම්, ඇය සිය සැමියා යටත් කර ගනියි.
පාදයේ දෙවන ඇඟිල්ල අනෙක් ඇඟිලිවලට වඩා කුඩා නම් ඇයගේ සැමියා අකාලයේ මිය යයි.
පුළුල් උරහිස් සහ කෙටි ඇඟිලි පිහිටා ඇත්නම් ඇය කම්සැපට ඇල්ම දක්‌වන්නියකි.
ඇකිළුණු උරහිස් ඇති තැනැත්තියට සැප සම්පත් අඩු වේ.
පැතලි ගෙල ප්‍රදේශයක් හෝ ගෙලෙහි සුළියක් පිහිටීම අශුභ ලක්ෂණයක් ලෙස සැලකේ.
නිකටේ ලපයක් ඇති තැනැත්තිය වාසනාවන්ත යැයි පැවසේ.
ගෙලෙහි රේඛා තුනක් පිහිටන කාන්තාව වාසනාව සහ සමාජයේ ගෞරවයට පාත්‍ර වේ.
කුඩා මුවක් පිහිටන අය ලැජ්ජාශීලී, ගුප්ත චරිත වේ.
විශාල මුවක් පිහිටා ඇති තැනැත්තියන් ආහාරවලට ගිජුවන අතර, කතා බහට කැමතිය.
පළල් පරතරයකින් පියයුරු පිහිටා ඇති තැනැත්තිය අශුභ පළ ගෙන දෙයි.
අඩවන් වූ දෙනෙත් ඇති තැනැත්තිය සිය සැමියාට ලෙන්ගතුය.
සිනාසෙන විට දෙකම්මුල් වල ගැසෙන තැනැත්තිය වාසනාව උදා කරයි.
රෝස පැහැති දෙතොල් වාසනාව උදා කරයි.
තද පැහැති දෙතොල් පිහිටා ඇත්තී නිවසට අවාසනාව ගෙන එයි.
සමව පිහිටි උකුල සැප සම්පත් ලබන්නියකි.
මහත් වූ ඉඟටියක් සහ කුඩා උකුල් තලයක් පිහිටි කාන්තාව කලහකාරීය.
ශරීරයේ රෝම වැඩිපුර ඇති තැනැත්තී ඉතා දඩබ්බරය.
ගමනේදී පාදවල ශබ්දයක් ඇසේ නම් සැමියාට අපල ගෙනෙන අතර, ගුප්ත ආශාවන් ඇති කාන්තාවකි.
උඩු ඇන්දේ ඉදිරිපස දත් දෙක මැද හිඩැසක් ඇත්නම් පුරුෂ වසඟයට දක්‍ෂය.
දෙතොල සමබරව ඇත්තී ආලවන්තය.
දිගු ගෙළක් පිහිටන්නේ නම් උපායශීලී තීක්‍ෂණ බුද්ධියක් ඇත්තියකි.

පුද්ගලයන් එකිනෙකා අතර බොහෝ වෙනස්කම් පවතින අතර, එය ස්වභාවික පිහිටීම විනා රෝගයක් නොවන බව පවුල් සෞඛ්‍ය උපදේශකවරියක සහ කථිකාචාර්යවරියක වන විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

"එකම පවුලක දරුවන් දෙදෙනෙකු අතර පවා වෙනස්කම් පවතින්න පුළුවන්. නමුත් මේ දේවල් පැවැත එන්නේ ඒ අයගේ අම්මාගෙන් සහ තාත්තාගෙන්. ඒ කියන්නේ ජානවලින්. මේ දේවල් මත යම් කෙනෙකුගේ ගති ලක්ෂණ ගැන තීරණය කිරීම අපහසුයි."
"නමුත් මෙහි තවත් පැතිකඩක් තිබෙනවා. මේ විශ්වාස පැවැත එන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. අපේ මුතුන් මිත්තෝ යම් දේවල් නිරීක්ෂණය කර විවිධ විශ්වාස නිර්මාණය කර තිබෙනවා," වෛද්‍යවරිය පැවසුවාය.
"උදාහරණයක් ලෙස, කාන්තාවක් වැඩිවියට පත් වූ පසු නිවසින් පිටතට යන්න එපා කළු කුමාර දිෂ්ටිය වැහෙයි කියලා තවමත් කියනවා. මෙයට සැබෑ හේතුව වන්නේ, දැරියක් වැඩි වියට පත් වූ පසු අතවරයකට ලක් වීමේ ඉඩකඩ වැඩියි. ඒ වගේම එහි ප්‍රතිඵලයක් ලෙස ගැබ් ගන්න පුළුවන්."
"මේ නිසා කළු කුමාර දිෂ්ටියක් ගැන කියලා දරුවන් ආරක්ෂා කර ගන්න බලනවා. මේ දේවලුත් ඒ වගේම වෙන්න පුළුවන්. යම් නිරීක්ෂණවලින් මේ වගේ නිගමනවලට ඇවිත් තියෙන්න පුළුවන්. නමුත් විද්‍යාවට අනුව මේ දේහ ලක්ෂණ යම් කෙනෙකුට ලැබෙන්නේ ජානවලින්. ඒ මත වාසනාව, අවාසනාව තීරණය කරන්න අපහසුයි," වෛද්‍යවරිය තවදුරටත් පැවසුවාය.
"පොඩි කාලේ ඉඳන් මගේ තොල් අවපැහැයයි. ඒ හා සමාන පැහැයේ තොල් තමයි අපේ තාත්තාගේත් තිබෙන්නේ. නමුත්, මගේ තොල්වල පැහැය නිසා ගෙදරට අවාසනාවන්තයි කියල ඔවුන් කියනවා. 'කට කළුවා ගෙට නපුරා' කියලා මට බොහෝ දෙනෙක් විහිළු කරනවා," යැයි නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි තවත් කාන්තාවක බීබීසී සිංහල සේවයට පැවසීය.

"පොඩි කාලේ මගේ හිත බොහොම රිදිලා, මානසිකව වැටුණත්, වැඩිවියට පත් වෙන කොට මම ඒ කිසි දෙයක් නෑහෙන ගානට ඉන්න පටන් ගත්තා. ඒ වගේම රූපලාවණ්‍ය ක්‍රියාකාරකම්වලින් මගේ දෙතොල් අන් අය දැකීමට කැමති විදිහට හදාගත්ත," යැයි ඇය තවදුරටත් පැවසුවාය.
නවීන ලෝකයේ දියුණු රූපලාවන්‍ය ක්‍රම අනුගමනය කරමින් බොහෝ දේහ ලක්ෂණ වෙනස් කළ හැකි බව රූපලාවණ්‍ය ශිල්පිනී නිලෝමා පීරිස් පැවසුවාය.
"මුහුණේ තිබෙන විවිධ ලක්ෂණ, උපන් ලප වගේම රෝම ඉවත් කරන්න හෝ සඟවන්න රූපලාවණ්‍ය ක්‍රමවලින් පුළුවන්. කාන්තා, පුරුෂ දෙපාර්ශවයම දැන් මේ දේවල්වලට යොමු වෙලා ඉන්නවා. ලේසර් තාක්ෂණය වගේම සාම්ප්‍රදායික ක්‍රම අනුවත් මුහුණේ, ඇඟේ ස්වභාවික දේ වෙනස් කරන්න පුළුවන්."
"උදාහරණයකට, ඇහි බැමි දෙක එකට යා වුණ අය අවාසනාවන්තයි කිව්වාට, එහෙම අය ඇහි බැමි රූපලාවණ්‍ය ක්‍රම ඔස්සේ හදාගත්තට පස්සේ, ඒ අය සාමාන්‍ය පුද්ගලයන් විදිහට සමාජය දකිනවා," ඇය පැවසුවාය.
දේහ ලක්ෂණ බලා ගතිගුණ කීමේ 'ඉපැරණි විද්‍යාවක්' පැවති බව බෞද්ධ පොත් පත්වල සඳහන් කර ඇත.

දිනක් බුදුන් වහන්සේ පා ගමනින් වැඩම කරන අතර, ඒ ගමන් මගෙහි ගමන් කළ බමුණෙකු වැල්ලේ තිබූ බුදුන් වහන්සේගේ පා සටහන් විමසා බලා එය සුවිශේෂි පුද්ගලයකුගේ බව හඳුනාගෙන, බුදුන් වහන්සේ සොයා පැමිණ ඔබ දෙවියෙක්‌ද යනුවෙන් අසා සිටියේය. බුදුන් වහන්සේගේ පා සටහන්වල තිබූ සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් මෙසේ අසා සිටි බව බෞද්ධ පොත්පත්වල සඳහන් වේ.
එමෙන්ම, එකල පැවති දේශ ලක්‍ෂණ විද්‍යාව උපයෝගි කරගනිමින් සිදුහත් කුමරුගේ නළලේ තිබූ ඌර්ණ රෝම ධාතුව දැක ඒකාන්තයෙන්ම බුදුවන්නේ යයි කොණ්‌ඩඤ්ඤ බමුණා පැවසූ බව ද බෞද්ධ පාසල් පෙළ පොත් ඇතුළු බොහෝ පොත්පත්වල සඳහන් කර තිබේ.
වීනා වාදනය ඉගෙනීමට පැමිණෙන මූසිලගේ දේහ ලක්‍ෂණ දුටු ගුත්තිල ඇදුරු ඔහු ගුණමකුවකු බව දැන ශිල්ප ඉගැන්වීමට අකමැත්ත පළ කළ බව වෑත්තෑවේ හිමියන් රචනා කළ ගුත්තිල කාව්‍යයේ මෙසේ සඳහන් වේ:
බලමින් ලකුණු ගත
දුදන ගුණ දැන ඔහු සිත
නොවසව තෙපි මවෙත
ශිල්ප නොදෙමැයි කිවෙත් මහසත
දේහ ලක්ෂණ අනුව යම් නිගමනවලට එළඹීම ක්‍රිස්තියානි, හින්දු සහ ඉස්ලාම් ආගම්වල ද දක්නට ලැබෙන්නකි.
2018 වර්ෂයේ සිදු කළ ගවේෂණයක් මත විද්‍යාත්මක ලිපියක් පළ කළ එසෙක්ස් විශ්වවිද්‍යාලයේ මානසික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධ ආචාර්ය ට්යුස්ඩේ වොට්ස් ඇතුළු විද්‍යාඥයන් පිරිස පවසන්නේ කාන්තාවන්ගේ ඇඟිලිවලින් ඔවුන්ගේ ලිංගිකත්වය හෙළි වන බවය.

කාන්තාවකගේ වම් අතෙහි වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය බොහෝ විට සමලිංගික සේවනය ප්‍රිය කරන්නියක් බව මෙම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.
බොහෝ සමානකම් ඇති නිවුන් කාන්තාවන් යුගල 18ක් සහභාගි කරගෙන සිදු කළ එම අධ්‍යයනයට අනුව ඔවුන්ගෙන් එක් අයෙකු සමරිසි වන අතර අනෙකා විරුද්ධ ලිංගික සේවනයට කැමැත්තක් දක්වන්නියකි.
පොදුවේ ගත් කළ, සමරිසි කාන්තාවන්ගේ වම් අත්ලේ පමණක් වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටා තිබෙන බව නිරීක්ෂණය වී තිබේ. මෙවැනි ලක්ෂණ සාමාන්‍යයෙන් දැකිය හැකි වන්නේ පුරුෂයන් තුළය.
පුරුෂ හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් ගර්භාෂයේ වැඩිපුර තැන්පත්ව තිබීම මෙයට එක් හේතුවක් බව එසෙක්ස් විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂකයෝ පවසති.
එක් අයෙකු සමරිසි සහ අනෙකා විරුද්ධ ලිංගික සේවනයට කැමැත්තක් දක්වන, බොහෝ දුරට එක සමාන ශරීර ලක්ෂණ ඇති නිවුන් පුරුෂයන් යුගල 14ක් ද මෙම පරීක්ෂණයට සහභාගි කර ගැනීමට විද්‍යාඥයෝ කටයුතු කළහ. නමුත්, ඔවුන්ගේ ඇඟිලි මැන බැලීමේ දී ඒවායේ දිග සහ ලිංගිකත්වය අතර සම්බන්ධතාවක් නිරීක්ෂණය වී නොමැත.
"බොහෝ සමානකම් තිබෙන නිවුන් සහෝදර සහෝදරියන්ගේ 100%ක්ම එකම ජාන දක්නට ලැබෙනවා. නමුත් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා වෙනස්විය හැකි වීම, ජානවලට අමතරව සැලකිල්ලට ගත යුතු කරුණක්," ආචාර්ය ට්යුස්ඩේ වොට්ස් පැවසීය.
Archives of Sexual Behaviour නම් සඟරාවේ මෙම ගවේෂණය පිළිබඳ තොරතුරු පළ කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
