2007 වර්ෂය මෙරට සාහිත්‍ය සම්මාන වංශ කතාවට නවමු පරිච්ඡේදයක් එක් කළ වසරකි. ඒ, අද වනවිට මෙරට ජාතික මට්ටමේ ප්‍රධාන පෙළේ සාහිත්‍ය සම්මානයක් වන 'ස්වර්ණ පුස්තක සම්මානය' පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද වර්ෂය වන බැවිනි.
2007 වසරේ පැවැති පළමු ස්වර්ණ පුස්තක සම්මාන උලෙළහි දී එම සම්මානය කිසිවකුට හිමි නොවූ අතර, සම්මානයට අදාළ ත්‍යාග මුදල වූ රුපියල් ලක්ෂ පහ අවසන් වටය නියෝජනය කළ නවකතා රචනා කළ කතුවරුන් පස් දෙනා අතරේ සමසේ බෙදුණි. එසේ ආරම්භ වූ ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ 20වන වරට ය. මේ වන විට ස්වර්ණ පුස්තකයේ සහ රජත පුස්තකයේ අවසන් වටය නියෝජනය කරන කෘති නම්කර අවසන්ය. ඉදින් 20 වැනි ස්වර්ණ පුස්තක සම්මාන උලෙළට පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සූදානම කෙසේ ද යන්න පිළිබඳ මේ සංවාදය එම සංගමයේ සභාපති සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි සමගය.
අතුල ජයකොඩි
සංවාදකයා : 20 වැනි ස්වර්ණ පුස්තක සම්මානයට මෙවර තියෙන සූදානම කෙසේ ද?
අතුල ජයකොඩි : මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ සැප්තැම්බර් 19 වැනිදා සවස 3.00ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්න සියලු කටයුතු සුදානම් කර අවසන්. ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙන්නේ කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය සහ සම්පත් බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයා. මෙවරත් සම්පත් බැංකුව තමයි අනුග්‍රහය දක්වන්නෙ. ඒ වගේම රජත පුස්තක සම්මාන උලෙළ සැප්තැම්බර් 03 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජෙස්මින් ශාලාවේ දී පැවැත්වෙනවා. එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙන්නේ සම්මානිත මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර.
මෙවර කෘති සමීක්ෂණයේ යම් වෙනසක් සිදුවූවා ද?
ඔව්… මීට පෙර පාදක මණ්ඩලය මගින් තමයි අවසන් දොළහ නම් කළේ. ඒ වගේම අවසන් වටය නියෝජනය කරන කෘති පහ තේරීම සිදුකළේ මධ්‍ය මණ්ඩලය. අවසාන කෘතිය තේරුවේ උත්තරීතර මණ්ඩලය. නමුත් මෙවර ඒ කිසිදු බෙදීමක් නැතිව එකම මණ්ඩලයක් තමයි සියලු පොත් නිරීක්ෂණය කළේ. ඒ වගේම ස්වර්ණ පුස්තකය දිනාගන්න නවකතාව තෝරන්නෙත් ඔවුන්. මෙය රජත පුස්තකයටත් එලෙස ම යි.
මෙවර සමීක්ෂණය සඳහා නවකතා, කෙටිකතා සහ කාව්‍ය සංග්‍රහ, යොවුන් නවකතා කෙතරම් ප්‍රමාණයක් ලැබි තිබුණා ද?
මෙවර සමීක්ෂණය සඳහා නවකතා, කෙටිකතා සහ කාව්‍ය සංග්‍රහ, යොවුන් නවකතා විශාල ප්‍රමාණයක් ලැබී තිබුණා. නවකතා එකසිය හැත්තෑතුනක්, කෙටිකතා සංග්‍රහ පනස්පහක්, කාව්‍ය සංග්‍රහ හැත්තෑදෙකක් සහ යොවුන් නවකතා හතළිස්තුනක් ලැබී තිබුණා.
ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක උලෙළ එක්කොට තනි උත්සවයක් පැවැත්වීමේ සූදානමක් තිබුණා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පවා තිබුණා...?
උත්සවයේ නම වෙනස්කර තනි උත්සවයක් කරන අදහසක් ආවා. එයට යෝජනා කර තිබුණ නම තමයි 'ශ්‍රී ලංකා බුක් එවාර්ඩ්ස්'. ඒ නම භාවිත කරන්න නම් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා තුනෙන් ම නිර්මාණ සලකා බලන්න වෙනවා. නමුත් අපි සලකා බලන්නෙ සිංහල මාධ්‍යයෙන් ලියැවෙන නිර්මාණ පමණයි. ඒ නිසා එවැනි සම්මාන උලෙළක් පවත්වන්න බැරි බව තමයි අපේ අවසාන තීරණය වුණේ. එවැනි යෝජනාවක් ආවෙත් මේ උත්සව දෙකට වැයවන වියදම් අඩුකර ගැනීමේ අදහසින්. නමුත් අපි දැන් වියදම් යම් ආකාරයකින් කළමනාකරණය කරමින් ඒ උත්සව දෙක සුපුරුදු පරිදි පවත්වනවා.
ස්වර්ණ පුස්තක සම්මාන සම්බන්ධයෙන් කලක පටන් තිබූ සංවාදයත් මේ වෙද්දී එහි උච්ඡතම අවස්ථාවට ඇවිත්, ඒ තමයි වරක් ස්වර්ණ පුස්තක සම්මානය දිනූ ලේඛකයෙක් නැවත ඒ සඳහා සලකා බැලීමේදී යම් කාල සීමාවකට යටත්ව සලකා බැලීම හෝ නැතිනම් නැවත කිසි දිනක ස්වර්ණ පුස්තකය සඳහා සලකා නොබලන්න...
ඔව්… ඒ ගැන දීර්ඝ සංවාදයක් අප අතර තිබුණා. මුලින්ම යෝජනා කළේ ස්වර්ණ පුස්තකය ජයග්‍රහණය කළ ලේඛකයෙක් නැවත ඒ සඳහා සලකා නොබැලිය යුතුයි කියල. ඒ එක්කම තව යෝජනා ආවා එහෙම සම්පූර්ණයෙන් ඉවත් නොකර වසර තුනක් හෝ පහක් දක්වා කාලයකට ඉවත් කරන්න. ඒ අනුව ලබන වර්ෂයේ සිට වසර තුනක් හෝ පහක් ඇතුළත ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත් ලේඛක ලේඛිකාවන්ගේ කෘති සලකා නොබැලීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම සෑම වසරකම ස්වර්ණ පුස්තක සඳහා ලැබෙන නවකතාවලින් පළමු නවකතාව ඉදිරිපත් කරන ලේඛක ලේඛිකාවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය අතරින් හොඳම නවකතාවලකරුවා ඉදිරියට අරගෙන ඇගයීමේ සහතිකයක් සහ යම් මූල්‍යමය ත්‍යාගයක් ලබාදිය යුතු යැයි මගේ යෝජනාවක් තියෙනවා. එතනදී නවක ලේඛකයා හෝ ලේඛිකාවගේ කෘතිය ස්වර්ණ පුස්තක සම්මානයට සුදුසු නම් එම සම්මානය ලබාදීමට එය බාධාවක් වෙන්නේ නැහැ.
ස්වර්ණ පුස්තක සම්මානය සඳහා වරක් සම්මානය දිනූ ලේඛක ලේඛිකාවන් නොසලකා හැරීමෙන් යම් විදිහකින් හොඳ නවකතා මඟහැරෙන්නේ නැද්ද?
ව්‍යාපාරික අරමුණකින් ස්වර්ණ පුස්තකය සඳහා අපි සලකා බැලුවේ ප්‍රකාශකයන්ගේ කෘති පමණයි. අදටත් ඒක එහෙමයි. එහෙම කළේ ප්‍රකාශකයා ගේ ව්‍යාපාරික පැත්ත බලලා. එය සාර්ථක වුණා. ස්වර්ණ පුස්තක සම්මානය ආරම්භ කරල වසර දෙක තුනක් යද්දී හොඳ නවකතා සම්මානයට පාත්‍ර වුණා. පිටපත් දාහක් විකුණා ගන්න බැරිව තිබුණ නවකතාවලට හොඳ ඉල්ලුමක් ලැබුණා. ඒ එක්කම ඒ වෙනුවෙන් දෙන ත්‍යාග මුදල වැඩිවීමත් සමග ලංකාවේ පවත්වන දැවැන්තම සාහිත්‍ය උලෙළ බවට මෙය පත්වුණා. නමුත් ඒ සමගම යම් පරිහානියකුත් මා දකිනවා. ඒ නිසාම මේ සම්මානය ලේඛකයන් අතර වගේ ම ප්‍රකාශකයන් අතරත් තරගයක් ඇතිවුණා. යම් පිරිසකගේ ග්‍රහණයට ඒක ලක්වුණා. මම හිතන්නේ එහි වගකීම ගන්න ඕන මෙතෙක් පත්වුණ විනිශ්චය මණ්ඩල. සංගමය කිසිදාක විනිශ්චය මණ්ඩලයේ තීරණවලට බලපෑම් කරන්නෙ නැහැ. ඒ නිසා එක් එක් වකවානුවල හිටිය විනිශ්චය මණ්ඩල තමයි දන්නෙ මොකද වුණේ කියන එක. ඔවුනුත් ඉදිරිපත් කරන යම් තර්කයක් තියෙනවා. මධ්‍ය මණ්ඩලය කියන්නෙ අපි තේරුවේ අපට ලැබුන පොත් දොළහෙන් කියල. උත්තරීතර මණ්ඩලය කියන්නෙ අපි ස්වර්ණ පුස්තකය තේරුවේ අපට තෝරා දීපු කෘති පහෙන් කියල. එහෙම කියල ඔවුන් බේරෙනවා. මෙවර සිට ක්‍රියාත්මක වන ක්‍රමවේදයෙන් කාටවත් වගකීම තව කෙනෙක්ට පවරන්න බැහැ.
ස්වර්ණ පුස්තක සම්මානයට කෘති තේරීමේ විනිශ්චය මණ්ඩල වල හැමදාම ඉන්නෙ එකම පිරිසක් බවට වූ චෝදනාවක් තියෙනවා...
ලංකාවේ නවකතා, කෙටිකතා, කවි කියවන හොඳ පාඨක ප්‍රජාවක් ඉන්නවා. ඔවුන්ට ඒ පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. මම දන්න එවැනි කිහිප දෙනෙක්ට ආරාධනා කළා මේ සමීක්ෂණ මණ්ඩලවලට එන්න කියල. නමුත් ඔවුන් කැමති නැහැ. ඔවුන් කියන්නේ එහෙම ඇවිත් අවංකව ම හොඳම පොත තේරුවොත් මිත්‍රත්වයන් නැතිවෙනවා කියලයි. දන්නෙ නැහැ ලබන වසරෙත් සභාපති වශයෙන් ඉන්න ලැබෙයි ද කියල මොකද සංගමයේ මහා සභාවෙන් තමයි එය තීරණය කරන්නේ. නමුත් මම හිටියොත් මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් උඩුයටිකුරු කරනවා.
පසුගිය වසරේ පළමු වරට ළමා පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට සියලු දේ සැලසුම් කර තිබිය දී එය අසාර්ථක වුණා. ඉදිරියෙදී ඒ පිළිබඳ නැවත අවධානයක් යොමු වෙනවා ද?
ඔව්… ඉදිරියේ දී එය පවත්වන්න බලාපොරොත්තුවක් තියෙනවා.
මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට තියෙන සූදානම කෙසේද? එයට එක්වන නවතම අංග මොනවාද?
සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ වෙන පොත් ප්‍රදර්ශනය ඔක්තෝබර් 04 වැනිදා දක්වා උදේ 9.00 සිට රාත්‍රී 9.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා. මෙවර පළමු වරට දකුණු ආසියානු පොත් ප්‍රකාශකයනුත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එක් වෙනවා. ඔවුන් සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වෙනම කුටි පනහක් පමණ ඉදිවෙනවා. පළමු දකුණු ආසියානු පොත් ප්‍රදර්ශනය පැවැත්වුණේ 2023 වසරේ නේපාලයේ. මෙවර එය පැවැත්වෙන්නෙ තුන්වැනි වරට. එතැනදී විවිධ ප්‍රකාශකයන්ට ප්‍රකාශනය සහ පරිවර්තනය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට මෙන් ම ප්‍රකාශන හිමිකම් විකිණීමට වගේම ප්‍රකාශන හිමිකම ලබා ගැනීමේ අවස්ථාව උදාවෙනවා. ඉතිහාසයේ වැඩිම විදේශීය ප්‍රකාශකයන් පිරිසක් සහභාගිවන පොත් ප්‍රදර්ශනය තමයි මෙය. මෙවර පොත් ප්‍රදර්ශන භූමියට එක්වන නවතම අංගයක් තමයි සංවාද මණ්ඩපය. සම්මන්ත්‍රණ ශාලා භූමියේ කමත පරිශ්‍රයේ දී තමයි මෙය පැවැත්වෙන්නෙ. එහි දී ශාස්ත්‍රීය සාහිත්‍යය, ජනප්‍රිය සාහිත්‍යය, පරිවර්තන සාහිත්‍යය, යොවුන් සාහිත්‍යය, නූතන කවිය, කෙටිකතාව සහ ගීතය පිළිබඳව සංවාද පැවැත්වෙනවා. විශේෂ ම දේ තමයි එහිදී ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක සමීක්ෂණ මණ්ඩල සාමාජිකයන්, එම සම්මානවලට කෘති නිර්දේශ වූ ලේඛක, ලේඛිකාවන් හමුවීමට පාඨකයන්ට ලැබෙන අවස්ථාව. එතැනදී ඔවුන්ගේ විනිශ්චයන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව උදාවෙනවා. ඒ නිසා "මම හිටියා නම් තෝරන්නෙ මේ පොත් පහ" වගේ අදහස් මුහුණු පොතේ ලියන, දැනට අවසන් වටයට තේරී තියෙන නවකතාවලට බැනෙන අයට මේ සංවාද මණ්ඩපයට ඇවිත් තමන්ගේ අදහස් දක්වන්න අපි ආරාධනා කරනවා. ඒ වගේම ප්‍රදර්ශන භූමියට පිවිසීමේ ප්‍රවේශ පත්‍ර QR කේතයක් මගින් ලබා ගැනීමේ ක්‍රමවේදයක් මෙවර හඳුන්වා දෙනවා.
පොත්වලට වැට් ගහලා ලස්සන ජීවිතයක් හදන්න බැහැ පොත්වලට පනවා තියෙන වැට් බද්ද නිසා ප්‍රකාශන කර්මාන්තයේ යම් සංකෝචනයක් සිදුවී ඇති බව ප්‍රකාශකයන් පසුගිය දිනවල පැවැසුවා.
ඔව්… ආණ්ඩුව පැනවූ වැට් බද්ද නිසා ප්‍රකාශන කර්මාන්තය දිගින් දිගටම දැඩි අර්බුදයකට ලක්වෙමින් තියෙනවා. ලෝකයේ කිසිම රටක් මුද්‍රිත පොත්වලට වැට් බදු ගහන්නෙ නැහැ. ඒ නිසා එය අයින් කරන්න කියන ඉල්ලීම කීප වරක්ම ආණ්ඩුවෙන් කළ නමුත් ඒ ඉල්ලීම් වලට ආණ්ඩුවෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නැහැ. එය කණගාටුවට කරුණක්. ආණ්ඩුව යෝගට් එකට අඩු කරන වැට් එක පොතට අඩුකරන්නෙ නැහැ. පොත්වලට පනවපු වැට් බද්ද නිසා ආණ්ඩුවේ බදු ආදායම වැඩිවෙන්නේ ඉතාමත්ම සුළු ප්‍රතිශතයකින්. ඒ නිසා එය නැතිවුණා කියල ආණ්ඩුවේ බදු ආදායමට කිසිදු හානියක් වෙන්නෙ නැහැ. ආණ්ඩුවේ උත්සාහය පෝසත් රටක්, ලස්සන ජීවිතයක් දෙන්න. පෝසත් රටක් හදන්න පුළුවන් වෙන්නෙ කියවීම තුළින් මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතය නැංවීමෙන්. එතකොටයි ලස්සන ජීවිතයක් ලැබෙන්නෙ. ඉතින් මේ වගේ පොත්වලට බදු ගැහුවාම කොහොමද ඒක වෙන්නෙ. ඒ නිසා මෙය අයින් කළ යුතුමයි. අපි බලාපොරොත්තු වෙනවා මෙවර අයවැයෙන් පොත්වලින් වැට් අයින් කරයි කියල.
පසුගිය වර්ෂයෙත් ඉල්ලුමට සරිලන ආකාරයෙන් කුටි ලබා දීමට නොහැකි වුණා. මෙවර එම තත්ත්වය යම් ආකාරයකින් කළමනාකරණය කර ගැනීමට හැකිවූවා ද?
මෙවරත් ඒ අර්බුදය තියෙනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අපට තියෙන ඉඩ, කුටි සඳහා ලැබෙන ඉල්ලුමත් සමග ප්‍රමාණවත් නැහැ. ඒ අර්බුදය ජයගන්න මීට පෙරත් මා යම් යම් යෝජනා කළා. මා යෝජනා කළේ ලිපිද්‍රව්‍ය, පාසල් උපකරණ අලෙවි කුටි අයින් කළ යුතුයි කියල. ඇත්තටම ඉදිරියෙදී කුමක් හෝ ක්‍රමවේදයකින් එය පාලනය කළ යුතුයි. එක්වරම එය කරන්න බැරිවෙයි.
මෙවරත් පාඨකයන්ට කෘති සඳහා ලැබෙන්නේ සියයට විස්සේ වට්ටම ද?
ඔව්… ඒක තමයි උපරිම වට්ටම. වෙනදා වගේම බාගේන් ස්ටෝල් එකත් තියෙනවා. නමුත් අලුත් පොත්වලට දෙන්න පුළුවන් වෙන්නෙ සියයට විස්සක් විතරයි. මොකද වැට් එකත් එක්ක ඊට වැඩිය දෙන්න අමාරුයි.
මූලාශ්‍ර - සති අග අරුණ
සංවාදය - ලක්මාල් බෝගහවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
