Image

රනිල්  කොලම - ඩොලරය පිළිබඳ රනිල් ගෙන් පාඩමක්

රනිල්  කොලම - ඩොලරය පිළිබඳ රනිල් ගෙන් පාඩමක්

මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී මන්ත්‍රීවරුන් සියලු ම දෙනා පාහේ මුලින්ම රනිල්ගෙන් විමසූයේ "සර් කවද්ද පාර්ලිමේන්තු එන්නේ...? ෆේස්බුක් වල හැම තැනම මාතෘකාව ඕක තමයි. සර් ජුනි මාසේ පාර්ලිමේන්තු එනවා කියලා තමයි කියන්නේ.''

මන්ත්‍රීවරුන්ගේ මුහුණු දෙස මඳ වේලාවක් බලා සිටි රනිල් සෝපාසයෙන් ඉවත බලා ගත්තේ ඒ ගැන වචනයක්වත් නොකියා ය.

රනිල්ගේ හැටි දන්නා මන්ත්‍රීවරු ඒ ගැන ඊට පස්සේ වචනයක්වත් ඇසුවේ නැත.

'රනිල් ආර්ථික ප්‍රතිපත්තිය' සහ එහි මූලික අරමුණ

ඩොලරයට හිටි හැටියේ තටු ඇවිත් ඉහළට ම නගින්නට වූයේ ජනතාවට නැවතත් රනිල් සරණං යන වචනය සිහිපත් කරමිනි.

රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලිකම අරමුණ වූයේ රුපියල ශක්තිමත් කිරීමයි.
"ආණ්ඩුව කරන්න තිබුණේ ඩොලරය 280 මට්ටමක රඳවා ගන්න එක. ආරම්භයේ ඉඳන්ම ඒ වෑයම දරන්න තිබුණා. නමුත් ඒක කළේ නෑ. 320 දක්වා ඩොලරය ගියා. ඒ කියන්නේ තිහකින් වැඩි වුණා. දැන් මේක ගෙනියන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව ඉන්නේ ඒ උදවිය. විදේශ විනිමය හිඟය කියන්නේ රටකට ලොකු ආදායම් හිඟයක්. හරිම ඉක්මනින් ප්‍රශ්නය විසඳුවෙ නැතොත් ලොකු ප්‍රශ්නයක්, ආර්ථිකය ගැන කතාවට මුල පිරූ රනිල් අපූරු උපහැරණයක් ද ගෙනහැර පෑවේ ය.

"මේ ප්‍රශ්නය ලොකු ලෙඩක් තියෙන මිනිහෙක්ගෙ කකුල කැඩුණා වගේ. ඇවිදලා ඉස්පිරිතාලෙට යන්න මම කකුල හදලා දුන්නා. ඉස්පිරිතාලෙට ගිහින් 2024 න් පස්සේ ඔපරේෂන් කරන්න තිබුනා.දැන් ඉතින් මොනව කරන්නද?''

රනිල් පැවසූයේ සංවේගයෙනි.

ආර්ථිකය ලංකාවට සීමා කරන්නේ නැතිව සර් ඒක ලෝකෙට ගෙනියන්න කොච්චර දුර දකින තීරණ ගත්තද? වජිර පැවසීය.

"ඔව් ඉන්දියාව එක්ක එකතුවෙලා සේතු සමුද්‍රම් හදන්න මම උත්සාහ කළා. ඒ වගේම පාලම. මේව නැවතුණේ කාගේ විරෝධය නිසා ද? ඒ ව්‍යාපෘති පටන් ගත්තා නම් අවුරුදු දහයක විතර ඉදිකිරීම් වැඩ තියෙනවා. එහෙම කළා නම් ට්‍රිලියන පහක ආර්ථිකයක් අපට එකතු වෙනවා.
ඒ වගේම ඉන්දියාවේ ඉඳන් ඉන්ධන නළ මාර්ගයට ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ගියා. ඒක කරන්න ඉඩ දුන්නද? ඒක කලා නම් ඉන්දියාවට ඒ ගානට තෙල් දෙන්න හැකියාව ලැබෙනවා.''

රනිල් කීවේ ඇත්තෙන් ම ඔහුගේ දුර දක්නා දැක්ම මේ රටේ ක්‍රියාත්මක කරගන්නට නොහැකි වූ පසුතැවීමකිනි.

ඩොලරය ඉහළ ගියේ ඇයි...?

ඩොලරය හිටිහැටියේ ඊ ගසක වේගයෙන් උඩට ගොස් එක පාරට පහළට ආවේ කුමක් නිසා දැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න රනිල් ගෙන් විමසූයේ ඇත්තෙන්ම ඒ ප්‍රශ්නය බොහෝ ජනයාට පවතින නිසා ය.

"මේ අය බැංකු වලට උපරිම ප්‍රෙෂර් එක දීල තියෙනවා. 330ට වඩා දෙන්න එපා කියලා. ඉස්සරහට ඩොලර් බිලියනයක් එනවා කියලා තමයි එහෙම කියලා තියෙන්නේ. හැබැයි ඩොලර් බිලියනයක් ආවා කියලා එහෙම වෙනසක් වෙන්නේ නෑ. දැන් ලෝකේ ආර්ථිකය වෙනස් වෙලා. යුද්දේ නිසා හැමෝටම වැදිලා තියෙන්නේ. ඒ මාකට්වලට තමයි අපිටත් යන්න වෙලා තියෙන්නේ. ඉන්දියාවට අමාරුයි. හිටි හැටියේ තෙල් මිල ඩොලර් දහයකින් ඉහළ යනවා. මේ වගේ අසීරු තත්ත්වයක් තියෙන්නේ. මේ අය බලන්නෙ පුල් ට්‍රයි එක දාලා ඩොලර් එක අල්ල ගන්න. නමුත් ඒක කරන්න බෑ. ටික කලක් ගියාම ආපහු නගිනවා.''


සුගීෂ්වර එහි දී පැවසූයේ මහ බැංකු අධිපති කයිය ගැහුවත් ප්‍රශ්නයක් පැමිණි විට කිසිදු සක්‍රීය දායකත්වයක් දක්වනවා යැයි නොපෙනෙන බවයි.

"සර්ගේ කාලේ ආර්ථිකය කළමනාකරණය කරද්දී ඇත්ත වැඩකාරයා කවුද කියන එක මේ උදවිය ගේ දැන් හැසිරීම දැක්කම හොඳින් ම තේරුම් ගන්න පුළුවන්,'' යැයි සුගීෂ්වර එහි දී කීය.

පක්ෂ මාරු පනතෙහි රහස

ආණ්ඩුව හිටි හැටියේ ම පක්ෂ මාරු පනත ගෙනෙන්නට යයි. ඒ බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම්දී මේ මාධ්‍ය හමුවේදී ද කීය.

"ඔය පක්ෂ මාරු පනත කඩිමුඩියේ ගේන්න හේතුවක් තියෙනවා. මේ උදවියගෙන් පහළොවක් විතර කඩාගෙන යන්න ලෑස්තිය. ඒක වළක්වන්න තමයි ඔය පනත ගේන්නේ.''

වජිර කීවේ තමාට ලැබුණු ආරංචියක් රනිල් හමුවේ ගෙනහැර දක්වමිනි.

"ඔව්... ඒක ඇත්ත තමයි... විපක්ෂයෙන් කවුරුවත් නෑ ආණ්ඩුවට යන්න."

රනිල් සැහැල්ලුවෙන් උත්තර දුන්නේය.

"සජිත් සහ ආණ්ඩුව දෙගොල්ලොම එකතු වෙලා ඔය පනත ගේන බව ආරංචියි. මොකද ඔය දෙගොල්ලොන්ටම ප්‍රශ්නය බලපානවනේ,'' යැයි මාන්නප්පෙරුම කීවේය.

තලතා ගේ යෝජනාවට රනිල් ගේ පිළිතුරat

තලතා එහි දී පැවසුවේ ජනතාවට සුගතියක් වීමට නම් මේ ආණ්ඩුව හැකි ඉක්මනින් පෙරළා දැමිය යුතු බවයි.

"ඔව්... ඒක ඇත්ත. ඒ වුනාට ප්‍රධාන විපක්ෂයේ ඒකට කිසිම සූදානමක් නෑ. සජබ පැත්තකින් තිව්වොත් විපක්ෂයේ අනිත් පක්ෂවලට ඒ සංවිධාන ශක්තිය හදාගන්න අවුරුද්දක් විතර යනවා. ඒ වෙනකොට රටේ ආර්ථික තත්ත්වය තවත් බිමට පාත් වෙනවා.''

රනිල් පැහැදිලි කළේ ය.

පළාත් සභා ගැන ජවිපෙ මත දෙකක

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේ දී මේ ආණ්ඩුවේ තිබෙන මත ගැටුමේ ස්වරූපය හොඳින්ම කල එළි බැස්සේ ය.ටිල්වින් යාපනයේ ගිහින් කීවේ මුදල් නැති නිසා මේ අවුරුද්දේ පළාත් සභා මැතිවරණය තැබීමට නොහැකි බවයි. ඊට දවස් කීපයකට පස්සේ නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසූයේ පළාත් සභා ඡන්දය කියන්නට මුදල් ප්‍රශ්නයක් නොමැති බවයි. ආණ්ඩුවේ තවත් ඇමතිවරුන් කිහිපදෙනෙක් ම නලින්ද ගේ මතයට සමාන අදහස් පළ කර තිබිණි.
මේ අතර ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජනතාවගේ සැබෑ මතය වෙනුවෙන් කරන කාර්යභාරය රනිල් ගේ විශේෂ ඇගැයීමට ලක් විය.

ඩොලරය 380ට 400ට ගියොත්...?

බැරි වෙලාවත් 380ට 400ට ඩොලරය ගියොත් වෙන්නේ මොකක්දැයි දිනිත් කරුණාරත්න මෙහිදී රනිල්ගෙන් විමසා සිටියේ ය.

"එහෙම වුණොත් කවුද ඉන්නේ ආණ්ඩුවක් හදන්න...?"

රනිල් ඊට පිළිතුරු දුන්නේ පෙරළා ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි.

"මම හිතන්නේ තව ටිකක් කොහොම හරි යාවි. හැබැයි එන අවුරුද්ද වෙනකොට මිනිස්සුන්ට තවත් අමාරු වෙනවා. 2022දි මිනිසුන්ට මොනවා හරි විකුණගෙන කන්න වත් තිබුණා. දැන් මොනව ද මිනිස්සුන්ට තියෙන්නේ...?''

රනිල් එසේ කියන විට මාන්නපෙරුම කීවේ''ආණ්ඩුවට තව යන්න දෙන්න නම් පුළුවන්. ඒත් මිනිස්සුන්ට අමාරුයි,'' කියාය. ''මිනිස්සු දෙපාරක් පිට පිට ඔය දේ කරගත්ත. ගෝඨාභයට දීලත් ඔය දේම තමයි වුණේ.'' ඔහු කීය.

තේ වෙනුවට එළවළු...?

ආණ්ඩුව අපනයන ආර්ථිකයක් ගැන කතා කළාට දැන් නුවරඑළියේ තේ වතු ගලවා එළවළු වවන්නට පටන් ගෙන තිබෙන බව වජිර පෙන්වා දුන්නේ ය.

විපක්ෂ නායක මොන නායක හිටියත් අන්තිමේ දී වැඩේ කර ගසා ගෙනියන්නට සිටින එකම නායකයා රනිල් බව ජන සමාජයේ ද මතය බව මෙහි දී බොහෝ දේශපාලනඥයෝ පෙන්වා දුන්හ.

"රනිල් කියන්නේ මීට වඩා ප්‍රබල ප්‍රශ්නයකට මැදිහත් වෙලා විසඳපු කෙනෙක්. අන්තිමට ඔහුට රට බාර දෙනවා හැර වෙන විකල්පයක් නෑ."

වජිර කීවේ බොහෝ දෙනාගේ අදහස අනුමත කරමිනි.

මේ වන විට ඒකාබද්ධ විපක්ෂයට විශාල දේශපාලන පක්ෂ රාශියක් සම්බන්ධ වීමට කැමත්ත පළකර ඇති බැවින් මාසිකව එක් වතාවක් පමණක් ඒකාබද්ධ විපක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවීමට තීරණය විය. ඒකාබද්ධ විපක්ෂයේ සාමාජ මාධ්‍ය ජාලා ප්‍රචාරණ කටයුතු බාර දීමට තීරණය කෙරුණේ දිනිත් චින්තක කරුණාරත්නට ය.

චම්පික ගේ ''එකට ගැටුම''abc

ඒකාබද්ධ විපක්ෂය දිවයින පුරා සංවිධාන කරගෙන යන සම්මන්ත්‍රණ මාලාවේ තුන්වැන්න තිබුණේ ජාඇල දී ය.එහි විශේෂත්වය වූයේ පොදු ජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු පක්ෂවල සහයෝගය ලැබීම යි. ඒ නිසා එය ඉතා සාර්ථක වූ රැස්වීමක් ලෙස හැඳින්වීම නිවැරදිය. හැම පක්‍ෂයක් ම නියෝජනය වන ලෙස අදහස් දැක්වීම් ද සිදු කෙරිණි. මේ අතර පාඨලී චම්පික රණවක ලියූ එකට ගැටුම ග්‍රන්ථයේ දොරට වැඩුම සිදු කෙරුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ය. එහි දී ජී.එල්. නොබැඳි රටක නොබැඳි ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද මැයින් විශේෂ දෙසුමක් ද සිදු කළේ ය.

"නොබැඳි පිළිවෙත වත්මන් රජයේ විසින් සම්පූර්ණයෙන් යටිකුරු කර තිබෙනවා. ඇමෙරිකාව විසින් ඉරාන නෞකාවට පහර දුන්නේ ශ්‍රී ලංකා මුහුදු කලාපය ඇතුළෙ. ඊට ආරාධනා කර තිබුණේ නාවික හමුදාපති. එය විවේචනය කරමින් ලංකා රජය වචනයක්වත් කිව්වේ නෑ. අපේ ගුවන්තොටට එන්නට ඇමරිකාව සහ ඉරානය දෙකම ඉල්ලීම් කළත් එය ප්‍රතික්ෂේප කළ බව ද ජනාධිපතිවරයා ඊට පසු කිව්වා. ඒක සම්පූර්ණයෙන් වැරදියි. නොබැඳි පිළිවෙත කියන්නේ වැටඋඩ ඉඳගෙන නිශ්ශබ්දව සිටීම නොවේ. නොබැඳි පිළිවෙත කියන්නේ ඕනෑම ප්‍රශ්නයක් ඇතිවූ විට කඳවුරකට බැඳෙන්නේ නැතිව විෂය මූලික කරුණු සොයා බලා තම මතය ඉදිරිපත් කිරීමයි. සිරිමාවෝ මැතිණිය ඉන්දියාව -චීනය අතර දේශ සීමා ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවේ ඊට නියෝජිතයෙක් යැව්වා. ඒ කියන්නේ එවක විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් වූ මගේ පියා එහි ගියේ.මගේ පියා අතේ රටවල් දෙකට ම එතුමිය ගේ නියෝජනයක් සඳහන් ලිපි යැව්වා. ඒවා අගය කරමින් පසුව කොළඹ දී සමුළුවක්ද පැවැත්වුණා. සිරිමාවෝ මැතිනිය ගේ ප්‍රධානත්වයෙන් ලෝක නායකයින් ගේ සහභාගීත්වයෙනුයි එය සිදු කෙරුණේ,'' යනුවෙන් ජී.එල් එහිදී කරුණු ගෙනහැර දැක්වී ය.

නුවරඑළියෙ දි එළවළු ගොවියන්ට වජිර දුන් පොරොන්දුව

එජාප සභාපති වජිර නුවරඑළියට ගියේ විවේකයක් ගත කිරීමටත් එක්ක ය.
මෙම සංචාරය අතරතුර දී ඔහු නිවසට අවශ්‍ය එළවළු මිලදී ගැනීම සඳහා නුවරඑළිය පොළට ගියේ ය. එහි දී වජිර හඳුනා ගත් ගොවීන් ඔහු වට කරගත්තේ උණුසුම් පිළිගැනීමක් ලබා දෙමිනි.
ගොවීන් එහි දී වජිරගෙන් ඇසූ මූලික ප්‍රශ්නය වූයේ රනිල් ආපහු බලයට එන්නේ කවදාද යනුවෙනි.
වෙළෙඳුන් සහ ගොවීන් තමන්ට පැන නැගී ඇති ගැටලු එකින් එක වජිර හමුවේ ප්‍රකාශ කරන්නට විය. තමාට නායකයා හමුවන්නට අවස්ථාවක් දෙන්නැයි එහි දී ගොවීහු ඉල්ලා සිටියහ.
එයට එකඟ වූ වජිර, නායකතුමා තවම වෛද්‍ය උපදෙස් මත විවේකිව සිටින බවත් ඔහුගේ විවේකී කාලය අවසන් වූ වහාම මුණ ගැසීමට අවස්ථාවක් සලසා ලබාදෙන බවටත් එකඟ විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න