Image

මතුවෙන අභියෝග ජය ගනිමින් ආපදාවෙන් විපතට පත්වූ ජනයා යළි පදිංචි කිරීම් කඩිනම් කරන්න - ජනපතිගෙන් උපදෙස්

මතුවෙන අභියෝග ජය ගනිමින් ආපදාවෙන් විපතට පත්වූ ජනයා යළි පදිංචි කිරීම් කඩිනම් කරන්න - ජනපතිගෙන් උපදෙස්

මතුවන විවිධ අභියෝග ජය ගනිමින් දිට්වා ව්‍යසනයෙන් විපතට පත් ජනයා යළි පදිංචි කිරීමේ කාර්යය කඩිනම් කිරීමට එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

කඩින් කඩ මතුවන ගැටලු සහ නීතිමය බාධා දුරලීම සඳහා තමන් ගේ සහයෝගය ලබා දෙන බවත්, යළි පදිංචි කිරීමේ කටයුතු ඉදිරි මාස තුන තුළ දී උපරිම සාර්ථකත්වයක් කරා යොමු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (12)  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවති දිට්වා ආපදාවෙන් විපතට පත්වූවන් යළි පදිංචි කිරීම සම්බන්ධ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ය.

නිවාස අහිමිවූ සියල්ලන්ට ම තමන්ගේ ම යැයි නිවසක උරුමය ලැබිය යුතු යි

ඇතැම් ආයතනවල ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ආයතනයේ භෞතික සහ මූල්‍ය ප්‍රගතිය ප්‍රතිශතයක් වශයෙන් පෙන්වා දෙන අයුරින් ම යළි පදිංචිකිරීම් ප්‍රතිශතයක් වශයෙන් ප්‍රකාශ කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි ප්‍රගතිය 100%ක් විය යුතු බවත්, විපතට පත්ව නිවාස අහිමිවූ සියල්ලන්ට ම තමන්ගේ ම යැයි නිවසක උරුමය ලැබිය යුතු යැයි එහි දී සඳහන් කළේ ය.

නිවාස ඉදිකිරීමේ ප්‍රමාද සිදුවිය හැකි බැවින් මාස 06ක කාලයක් ලබා දුන් නිවාස කුලී මුදල් තවත් මාස 03ක කාලයක් දක්වා දීර්ඝ කර දෙන බව ද එහි දී පැවසුවේ ය. නමුත් එම මාස තුනක කාලය තුළ දී යළි පදිංචිකිරීම් සැලකිය යුතු ප්‍රශස්ත ප්‍රගතියක් කරා යොමු විය යුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

ඉන්ධන අරපරිස්සමින් භාවිත කරන්න

ඉදිකිරීම් සම්බන්ධ මිල විචල්‍යතාව පිළිබඳව ඉදිරි සතියේ දී ස්ථිර විසඳුමක් ලබා දෙන බවත් වාහන භාවිතයේ දී ඉන්ධන අරපිරිමැස්මෙන් යුතුව භාවිත කළ යුතු යැයි ද ජනාධිපතිවරයා පැවසුවේය. රාජකාරි සිදුකිරීමේ දී එවැනි සීමා කිරිම් සිදු නොවිය යුතු වුවත් ඉකුත් පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 200ක් වුණු ඉන්ධන වියදම පසුගිය මැයි මාසයේ දී ඩොලර් මිලියන 550කට ආසන්න අගයක් වාර්තා කළ බව ද අවධාරණය කළේ ය.

මෙය රුපියල් සම්බන්ධ ගැටලුක් නොව ඉන්ධන ආනයන වියදම මෑත කාලයේ දී දිගින් දිගටම ඉහළ යෑමක් නිසා සිදුවූවක් යැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා සුදුසු විකල්ප ඉදිරියේදී ලබා දෙන බව ද පැවසී ය.

රජය සඳහා වාහන මිලදී ගැනීම් සීමා කර ඇති නමුත් පළාත් පාලන ආයතන යනාදි විශේෂ සේවාවන් සිදුකරන ආයතන සඳහා මෙම වර්ෂය තුළ අවශ්‍ය වාහන ප්‍රමාණය ලබා දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා තව දුරටත් පෙන්වා දුන්නේය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සම්මානිත මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන්, ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, රියාස් ෆාරුක්, ජගත් මනුවර්ණ, ඊ.එම්.බස්නායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුලු පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් ද  අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

0fb2bfca a0c8 4837 8963 db22baabc99c

b1b3240a 23fe 4dc6 837d 1bf335288cae

nadeeka daya

 

 

 

 

නදීක දයා බණ්ඩාර - මහනුවර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න