“එන්න, අමිහිරි අතීතය අවබෝධයෙන් යුතුව අපි අමතක කරමු! අපි එක්ව ගොඩනගමු අපිට සාමයෙන් ඉන්න පුළුවන් රටක් !”
මෙහෙම කියන්නේ 2026 ජනවාරි මාසේ 23 වෙනි දා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) “කමත” දී දිග හැරෙන “යකාවැවට නන්දිකඩාල්” නම් වූ සැබෑ ජීවිත කථා කිහිපයක තිත්ත යථාර්තය සිහිගන්වන, එනමුත් ඉල්ලා යදින අව්‍යාජ සංහිඳියාවක් පිළිබඳ රංගාවේශයේ ය.

වසර ගණනාවක් පුරා ගැටගැසුණු ඉතිහාසයක් ඇති එකී කථාවට අත්තිවාරම වැටෙන්නේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය (ONUR) මගින් 2025 වසරේ සිට දියත් කළ වැඩමුළු කිහිපයක ප්‍රථිපලයක් වශයෙනි.
අනුභූතිය
“2025 මැයි මාසේ 19වන දා, යුද්ධයෙන් විපතට පත්වුණු යකාවැවේ කැබිතිගොල්ලෑවේ කණ්ඩායමකුත්, මුලතිව් නන්දිකඩාල් කණ්ඩායමකුත් අපි හමුවුණා. යුද්ධයෙන් මියගිය සියලු දෙනා වෙනුවෙන් අපි පහන් පත්තු කරලා පින් අනුමෝදන් කළා. ඒ වගේ ම ඔවුනොවුන් ගේ ජීවිත කථාව බෙදාගන්නටත් අපට අවශ්‍ය වුණා. ඒ නිසා අපි මැයි මාසේ 28වෙනි දා ඔවුන්ව මුණගැසුණා. ඒ ජීවිත කථාව බෙදාගැනීමේ ප්‍රථිපලය තමයි “යකාවැවට නන්දිකඩාල්” කියන මේ සුවපත් වීමේ නාට්‍යය බිහිවුණේ-”
නාට්‍යයේ උප්පත්තිය ගැන එසේ සඳහන් කළේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ (ONUR) සභාපති විජිත් රොහාන් ය.
විජිත් රොහාන්
එමෙන් ම, යුද්ධයට මුහුණ දුන් ජීවිත ගැන, ජීවිතවලට ආදරය කිරීම, වේදනා ගැන, වේදනා කොහොමද බෙදාගන්නේ , සමරන්නේ කියන කාරණා පිළිබඳව මෙම නාට්‍යය පුරාම කතාකරන බවත්, ඒ තුළින් ඔවුන් කොහොම ද සුවපත් වුණේ කියන කාරණයත් දැකගැනීමට හැකි බවත් විජිත් රොහාන් පැවසී ය.
“නිත්‍යා මාංකුලම් ඉස්කෝලේ 2වසර ඉගෙන ගන්න කාලේ දී තමයි මේ සිදුවීම වුණේ. ඒ, 2006 ජුනි 15 වෙනි දා, හරියට ම කැබතිගොල්ලෑවේ බස් එකට බෝම්බ තියපු දවස ම යි. එදා නිත්‍යා හිටපු ඉස්කෝලේ ළඟ තිබුණු ත්‍රස්තවාදී කඳවුරකට හමුදාවෙන් මෝටාර් ගහලා තිබුණා. ඒ ශබ්දය දරාගන්න බැරිව ළමයින් ගණනාවක් මිය ගිහින් තිබුණා. ඒත් මේ ගුරුතුමිය නිත්‍යාව වැලඳගෙන හිටිය නිසා එයා බේරිලා තිබුණා... ඔව්, එදා 2006 ජුනි 15වන දා මම ඉගැන්නුවේ මුලතිව් මාංකුලම් මහා විද්‍යාලයේ තමයි.”
මේ, රංගාවේෂය හැඩගැන්වෙන එක්තරා සිදුවීමක කථීකාවක් ය.
මේ කථිකාවට සමපාතව වේදිකාවේ එක් පසෙක පසුබිම වෙනස් වෙනවා. නිත්‍යා කියන චරිතය, දෙක වසරේ දි අධ්‍යාපනය ලැබූ මාංකුලම් විද්‍යාලය දර්ශනය වෙනවා.
අර්බුදයේ, වේදනාවේ සහ බලාපොරොත්තුවේ සැබෑ ම ස්වරය
රංගාලෝක වෙනස්කම් හරහා දර්ශන අපූරුවට විදහාපාමින් ලලිත් අතාවුද, සහාය අධ්‍යක්‍ෂණයෙන් එස්- ජීවරාජ්, සංගීත අධ්‍යක්‍ෂණයෙන් හේමන්ත චන්දිමාල් ලියනපතිරණ, වේදිකා පරිපාලනයෙන් දනුක මාලින්ද බාලසූරිය යන සහෘද ශීල්පීන්, “යකාවැවට නන්දිකඩාල්” සැබෑ කථිකාවේ ප්‍රාණය විනාශ නොවී ප්‍රේක්‍ෂක බුද්ධිය යථාර්ථවාදීව විවර කරන්නට හැකිවන සේ, රංගාවේෂයේ පිටපත රචනා කර, අධ්‍යක්‍ෂණය කරන කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව උපාධිධාරියකු සහ තරුණ නාට්‍ය නිර්මාණකරුවකු වන ගයාන් රන්දීරගේ උත්සාහය නිර්ලෝභීව ඔසවා තබයි.
ගයාන් රන්දීර
එකම අවස්ථාවේ දී දෙමළ සහ සිංහල භාෂා දෙකෙන් ම රංගාවේෂය වේදීකාව මත ජීවමාන වන බැවින් භාෂා අසීරුතාවක් කෙසේවත් පැණනොනගින අතර, රූපණය සහ හඬ දෙක ම එකවිට ග්‍රහණය කරගැනීමට පහසු වන සේ අධ්‍යක්‍ෂක විසින් රංගාවේෂය මනාව හසුරුවා ඇති ආකාරය ප්‍රශංසනීය ය. තව ද, නළු නිළි සැවොම ගායන වෘන්දයේ නිරතවීම ද මෙම කථා පුවත් හී යථාර්ථය තවත් ගැඹුරකර පෙන්වන අරුමැසියකි- ඒ නම්, සංවදයේ දී පමණක් නොව, ගායනයේ දී පවා මතුව එන්නේ ඔවුන්ගේම අර්බුදයේ, වේදනාවේ සහ බලාපොරොත්තුවේ සැබෑ ම ස්වරයයි
සියල්ලෝ ම නළු නිළියෝ නොවූහ
“යකාවැවට නන්දිකඩාල්” කථා පුවත රඟදක්වන චරිත ගොඩනැගෙන්නේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය (ONUR) විසින් සිය කාර්යාලයේ වගකීම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන් හරහා ගනු ලැබූ සමාජය සුවපත් කිරීමේ එක් පියවරක දී ය. මායිම් ගම්මාන වන අනුරාධපුර ය, කැබිතිගොල්ලෑව සහ මුලතිව්, නන්දිකඩාල් යන ප්‍රදේශවල ජීවත්වන යුද්ධයෙන් හොඳින් බැට කෑ සිංහල සහ දෙමළ තරුණ බාල මහලු මෙන් ම කාන්තා පිරිමි කණ්ඩායමක් 2025 මැයි මාසේ දී පමණ සුවපත් වීමේ මේ ගමනට මුලපුරා ඇත.

රංගාවේශයේ කෙනෙකු හැර අන් සියල්ලෝ ම නළු නිළියෝ නොවෙති. සැවොම තම තමන් යුද්ධයට මුහුණ දුන් ආකාරය ඒ වේදනාව බෙදාගන්නට ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය විසින් විවෘත කළ පොදු වේදිකාවකට පැමිණි නාඳුනන භාෂා දෙකක් කථා කළ මිනිස්සු වූහ. කාලයාගේ ඇවැමෙන් සහ පා තැබූ (ONUR) වේදිකාවේ අපූරුව නිසා දැන් ඔවුන් එකම කුටුම්භයක් මෙනි.
''(ONUR) එකෙන් කරන අතිශය වැදගත් වැඩක් නිසයි මම මේ නාට්‍යට සම්බන්ධ වෙන්න හිතුවේ. පුරවැසියො විධියට අපිටත් ජාතික වගකීමක් තියෙනවානේ මෙවැනි ජාතික කාර්යයන් වලදී සහයෝගය දෙන්න,'' යැයි පැවසූ “යකාවැවට නන්දිකඩාල්” රංගාවේශයේ අධ්‍යක්‍ෂක ගයාන් රන්දීර, මෙම දුෂ්කර කාර්යය ඉටුකිරීමේ සිය අත්දැකීම මෙසේ බෙදාගත්තේ ය.
දුෂ්කර ම කාර්ය
“කාර්යාලයට සම්බන්ධ ජාතික ඒකාබද්ධතා නිලධාරීන් හරහා සොයාගත් පුද්ගලයින් ගෙන් තමයි මේ නිර්මාණය බිහිවෙන්නේ. එයාල ගේ ඇතුළාන්ත කතාවලින් කියවුණු දේ ආශ්‍රයෙන් මම නාට්‍ය පිටපත රචනා කළා. සමස්ත නාට්‍ය කණ්ඩායමට 45 දෙනෙක් ඉන්නවා, නමුත් 19 දෙනෙක් තමයි චරිතවලට පණපොවන්නේ. මේ කිසිම කෙනෙක් නළු නිළියෝ නෙවෙයි. එක පිරිමි සහෝදරයෙක් ඉන්නවා, එයා නාට්‍යවල රඟපාන කෙනෙක්. අනික් අයට රඟපෑම ගැන කිසිම අත්දැකීමක් නැහැ. ඒ නිසා මම මේ නාට්‍ය ෆෝරම් තියටර් ස්ටයිල් එකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ,” යැයි ඔහු පැහැදිළි කළේ ය.
ඔහුට අනුව, ඔහුගේ කාර්ය භාරය තුළ දී ඔහු මුහුණ දූන් දූෂ්කරම කාර්ය වී ඇත්තේ නාට්‍යකරණය සම්බන්ධයෙන් අත්දැකීම් නොමැති පිරිසක් සමග කටයුතු කිරීමට සිදුවීමත්, භාෂාව ප්‍රශ්නයක් වීමත්, වැඩකිරීමේ දී ගැටලු මතුවීමත් ය.
“මම මුහුණ දුන්න ලොකුම අභියෝගය තමයි වෛරය සමනය කරන්නට ගත් උත්සාහය. දෙගොල්ලෝ ම අනෙකා දිහා බලන්නේ අවිශ්වාසයෙන් සහ සැකයෙන්. දෙපාර්ශවයේ ම හිත්වල නොකියන වෛරයක් තිබුණා. නමුත් වැඩමුළු කරගෙන ඉදිරියට එනකොට ඒ සේරම හරිගියා. හැමෝ ම අතර තේරුම් ගැනීමක්, ආදරයක් ඇතිවුණා. අවසානයේ දී එකම පවුලක් වගේ සහයෝගයෙන් වැඩකරන්න පටන්ගත්තා. මට සතුටුයි,” යනුවෙන් ගයාන් රන්දීර “යකාවැවට නන්දිකඩාල්” රංගාවේශයේ සාමුහීක සාර්ථකත්වය ගැන සිය සතුට එසේ ප්‍රකාශ කළේ ය

නෙතු ගැටුමක ඇරඹුම
“යකාවැවට නන්දිකඩාල්” රංගාවේෂය අප නෙතු ගැටීම ආරම්භ කරවන්නේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ විහඟ සත්සර නැමති සිංහල තරුණ සිසුවකු සහ නිත්‍යා නමැති දෙමළ සිසුවියක ගේ සංවාදයකිනි. ඔවුහු ආදරවන්තයෝ වෙති. කැබිතිගොල්ලෑව බස් බෝම්බයට ගොඳුරුවී සත්සර ගේ දෙමාපියන් මියයෑමෙන් සත්සර ජීවත්වන්නේ තම සීයා සමග ය. ඒ හා සමානව ම නිත්‍යා ද රුදුරු යුද්ධයේ වින්දිතයකු වන්නී ඇය අනාථ කඳවුරක උපන් පියා අහිමි දැරියක වීමයි. එපමණක් ද නොව, මායිම් ගම්මානයක ජීවත් වූ නිත්‍යා ගේ මව යුද හමුදාව සහ දෙමළ ත්‍රස්තවාදීන් අතර ගැටුමක දී අසීරුවෙන් දිවි බේරාගෙන අනාථ කඳවුරක දිවි ගතකළ තරුණියක වූවා ය. ඇගේ ඥාතීන් සවොම එකී යුද්ධයේ ගොඳුරු බවට පත්වීමෙන් ඇයට සිටින එකම ඥාතියා නිත්‍යා පමණි; නිත්‍යාට සිටින්නේ ද සිය මව පමණි.
“යකාවැවට නන්දිකඩාල්” රංගාවේෂයේ මුල මැද අග රූප, සංවාද, නැටුම්, ගැයුම්, සටන්, වැලපීම්, ආලෝකය සහ ශබ්ද සමගින් ඉතා හොඳින් සම්මිශ්‍රණයකර, ප්‍රේකක්‍ෂකයා වෙත ඉදිරිපත් කරන දෙපාර්ශවයක ගේ වැලපීමේ සහ අපේක්‍ෂාවේ සැබෑ ජීවිත කථා සමූහයක් ඉදිරිපත් කිරීමෙන් සහ නැරඹීමෙන් පමණක් එකී ජීවිතවලට සාධාරණය ඉටුකළ නොහැකි ය. “යකාවැවට නන්දිකඩාල්” තුළින් පෙන්වා දෙන සත්‍ය කථා බඳු තවත් කථා දහස් ගණනක් මේ ලක් දෙරණේ විශේෂයෙන්: අවි ගැටුණු, බෝම්බ පතිත වූ පොළෝ මත තවමත් යුක්තිය සහ සාධාරණය ඉල්ලා කෑමොර ගසයි. ඊට නිසි ලෙස සවන් දීම දැනටත් ප්‍රමාද වුව ද, එහෙත්, තවමත් වඩාත් ප්‍රමාද නැති බැවින් ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයට පැවරෙන්නේ අතීශ්‍ය ගැඹූරු, පුළුල් වගකීමකි- “යකාවැවට නන්දිකඩාල්” ආරම්භයක් පමණක් විය යුතු ය.
බලාපොරොත්තුවේ ප්‍රකාශය
“ඔවු... ඇත්තට ම... උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව අපි කෙරෙහි තැබූ විශ්වාසනීය බව යථාර්ථයක් බවට පත්කර ගන්නට අපට කටයුතු කරන්නට වෙනවා. ඒ සඳහා අපේ කාර්යාලය විවිධ මාර්ගවලින් මේක සාක්ශාත් කරගන්න උත්සහා දරනවා. වරින්වර අපි දකිනවා ජාතිවාදි, ආගම්වාදී ප්‍රවණතා රටේ ඇතිවෙනවා. ඒ නිසා ජාතික සමගිය සහ සංහිඳියාව වෙනුවෙන් නොකඩවා මේ ගමන යායුතු වෙනවා,”යැයි සභාපති විජිත් රොහාන් පැවසුවේ ය.
මතවාදීව පුළුල් කථීකාවකට යායුතු බව පෙන්වා දුන් ඔහු, ඒ සඳහා සිය කාර්යාලය පසුගිය වසරේ සිට සාකච්ඡා කළ බව ද, ජාතික සමගිය සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව ද කීවේ ය.
“මම හිතන්නේ අපේ කාර්යාලයේ ලොකුම කාර්යය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සම්බන්ධ කරගෙන මේ සඳහා සංවාදයක් ඇතිකර ජාතික ප්‍රතිපත්තිය ගොඩනංවා ගැනීම. ඒ ප්‍රතිපත්තිය ඇතුළෙ අපිට ලොකු අවකාශයක් ලැබෙනවා, සංහිඳියාව පිළිබඳව පුළුල් කථිකාවකට යන්නට.”
මෙය බලාපොරොත්තුවේ ප්‍රකාශයකි.

පුරවැසියන් බලය ලබාදී ඇත්තේ කුමක් සඳහා ද...?
ගැටුම් අවසන් ව ද, මෙවැනි කාර්යාලයක් ආරම්කර වසර ගණනාවක් වුව ද, ජාතික සංහිඳියාවක් වෙනුවෙන් දැනෙන කිසිවක් සිදුවි නොමැති තැන “යකාවැවට නන්දිකඩාල්” හරහා ගත් පියවර ප්‍රශංසනීය ය.
ලංකාව වැනි ඉතා කුඩා රටක ජීවත්වන මිනිසුන්, ජාති ආගම් වර්ග කණ්ඩායම් වශයෙන් බෙදෙන්නට ඉඩ නොදී එක ම ආත්මයක් ඇති සාමකාමි ප්‍රේමණීය මිනිසුන් ලෙස ජීවත් වන්නට බලකර සිටින අහිංසාවාදී, මානූෂීය ඕනෑම පියවරක් ගන්නට සහ හඳුන්වා දෙන්නට ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයට පරම පිරිසිදු අයිතියක් ඇති බව අමතක නොකළ යුතු ය. මන්දයත්, පුරවැසියන් බලය ලබාදී ඇත්තේ වෙනස්කම් තුළින් සංහිඳියාව ජයගෙන සාමකාමි යහපත් දේශයක් තුළ ජීවත්වන මනුෂ්‍යයා සහ මනුෂ්‍යත්වය රකින්නට ය.
ඡායාරූප සහ සටහන : මෙලනි මානෙල් පෙරේරා

