ධූලියෙන් පිරි සඳ මතුපිටට ගොඩ බැසීම සඳහා, ඊගල් චන්ද්‍ර යානය මුදාහළ මොහොතේ පටන් චන්ද්‍ර පෘෂ්ඨයට සැතපුම් හැටක් ඉහළ කක්ෂයේ හුදෙකලා වූ කොලින්ස්, කොලම්බියා ආඥා මොඩියුලයේ සංකීර්ණ මෙහෙයුම් ආම්පන්න රැසක් මැද අවිවේකී වූත්, අවිනිශ්චිත වූත් පැය විසි එකක දුෂ්කර කාල පරිච්ඡේදයක් ගෙවා දැම්මේ ය. නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින් මිනිස් ඉතිහාසයේ නව පරිච්ඡේද ලියමින්, හූස්ටන් හි නාසා පාලක මැදිරියට සඳ මතුපිට චමත්කාරය විස්තර කරමින් සහ ඇමරිකානු ජනපතිවරයාට දුරකථන ඇමතුම් ලබා දෙමින් අමරණීයත්වයට එසැවෙමින් සිටියදී, තනිව සඳ වටා ගමනේ යෙදී සිටි සෞන්දර්යවාදියා තම දෑස් ඉදිරියෙන් පායා එමින් තිබූ මාතෘ ග්‍රහලෝකයේ අසිරිය පිළිබඳ කාව්‍යාත්මක වර්ණනා පෘථිවිය වෙත නිරන්තරව පා කර එව්වේ ය.
සිය දෑස් මානයෙන් පෙනි පෙනී තිබියදීත්, සඳ මතුපිට පහස නොලබාම හැරී එන්නට සිදුවූ නමුත්, චන්ද්‍රයාගේ අඳුරු කලාපය, එනම් පෘථිවියට ප්‍රතිපක්ෂව පිහිටා ඇති පෙදෙසට ඇතුළු වෙමින් එතෙක් මිනිසෙකු විසින් තරණය කළ දීර්ඝතම ගමන් මග සනිටුහන් කළ කොලින්ස්, ඒ මොහොතේ කිසිදු පෘථිවිවාසියෙකු අත් නොවිඳි පරිදි, චන්ද්‍ර මෙහෙයුමේ වඩා සංවේදී අවස්ථාවන් පියවි ඇසින් බලා සිටි මිනිසාද වෙයි. සෑම පැය දෙකකකටම වරක් චන්ද්‍රයා වටා ගමන් කිරීමේදී, එහි අඳුරු කලාපයේදී ඇතිවන සන්නිවේදන සබඳතා සහමුලින් ඇණහිටීම හේතුවෙන්, අහන්නට කිසිත් නැති, දකින්නට කිසිත් නැති අඳුරු සක්වලක ඔහු ඉතා සන්සුන්වත්, උපේක්ෂා සහගතවත් හුදෙකලාව බලා සිටියේ ය.
ඇපලෝ මෙහෙයුමෙන් පසු අතිශය කාර්යබහුල වීමෙන් සහ පමණ ඉක්මවූ ජන ප්‍රසාදයට ලක් වීමෙන් හානියට පත් ජීවන පැවැත්මෙන් පීඩා විඳි තම ගමන් සගයින්ට සපුරා වෙනස් මඟක් ගත් කොලින්ස්, චන්ද්‍ර කක්ෂයේ ගෙවා දැමූ නිහඬ නමුත් ප්‍රීතිමත් මානසිකත්වයම සිය ඉදිරි ජීවිතය වෙත අනුයුක්ත කරගත්තේ ය. 
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
