ආර්ථික

ලොවෙත් නැති අර්බුදයක් ලංකාවේ : ගෑස් ඇත්තේම නැත !
මේ වන විට ගෑස් වෙළඳ පොළ දැඩි අර්බුදයකට පත්ව ඇත.
ගෑස් බෙදාහැරීම සිදුකරන ලිට්‍රෝ මෙන්ම ලාෆ් ඒජන්තවරුන් සිය ව්‍යාපාරික ස්ථාන වල "ගෑස් නැත" යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කිරීම දෛනික අංගයක් වී තිබේ.
මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ ලාෆ් ගෑස් හිඟයක් ඇතිවීම නිසා වෙළෙඳ පොල හිඟය පෙන්නුම් කරන බවයි.
ලාෆ් ගෑස් සමාගම පවසන්නේ තමන්ට ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව ඇති නිසා නිශ්පාදන කටයුතු ඇණහිට ඇති බවයි.
කෙසේ වුවත් මේ හේතුවෙන් විශේෂයෙන් නාගරික ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇත. මේ වන විට ඉන්ධන හිඟයක් ගැනත් තොරතුරු වාර්තා වන අතර එහිදී භූමිතෙල් පවා සොයා ගැනීම දුෂ්කර වුවහොත් නාගරික ප්‍රජාව කබලින් ලිපිට වැටෙන තත්ත්වයක් පෙන්නුම් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මේ හුදු ඉන්ධන හිඟයක් නොව බලශක්ති අර්බුදයක් ලෙස වෙළෙඳ පොල කියවාගෙන ඇති බවයි.
ඒ අනුව විදෙස් ආයෝජන සම්බන්ධයෙන් මේ බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය දැඩිව බලපෑම් කරනු ඇති බවත් ඔවුන් පවසයි.

තෙල් ගේන්න ඉන්දියාව සල්ලි දෙයි : ඒකත් මාස දෙකයි !
ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබේ.
මේ අතර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත එම ණය කඩිනමින් ලබා ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසයි.
මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ණය මුදල ලබා ගැනීම සඳහා වන ගිවිසුමට මෙරට බලශක්ති අමාත්‍යාංශයේ හා ඉන්දීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරුන් අත්සන් කිරමට නියමිතව ඇති බවයි.
ඉන්ධන සැපයුම ඉදිරි මාස 2 පමණයි - ගම්මන්පිල බැසිල්ට දන්වයි !
මේ අතර ආණ්ඩු හිතවාදී සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ , අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික ලෙස කළ හැක්කේ ඉදිරි මාස දෙක සඳහා පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බවයි.
ඒ නිසා ඉන්ධන මිල අර්බුදයට විසඳුමක් ලබා දෙන්නැයි ඔහු මුදල් ඇමති වරයාගෙන් ඉල්ලා ඇති අතර විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන ආනයනය කිරීමේ දී තෙල් සංස්ථාව මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ පාන ඇති බවද තමන් දැනුම් දුන් බව බලශක්ති ඇමති ගම්මන්පිල සඳහන් කරන බවත් එම පුවතේ දැක්වෙයි.
එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කළ හැක්කේ එළඹෙන ජනවාරි මාසය දක්වා පමණක් බවද දැන්වූ බව ඔහු පැවසීය.
ආනයනය සඳහා බදු සහනයක් හෝ මිල සංශෝධනය මෙම ගැටලු විසඳුමක් විය හැකි බව ද මාත්‍යවරයා පෙන්වා දෙයි.
ලංකා ඉන්දියන් තෙල් සමාගම මිල වැඩි කිරීමක් සිදු කළ හොත් එය තෙල් සංස්ථාවට බලපෑමක් ඇති කරන අතර එවිට වැඩි පාරිභෝගිකයින්ට තෙල් සංස්ථාවේ ඉන්ධනහල් හාම මගින් සංස්ථාවේ පාඩු වැඩි වන බව අමාත්‍යවරයා පැවසීය.
මෙම වසරේ මුල් මාස නවය තුළදී තෙල් සංස්ථාව රුපියල් බිලියන 83 ක පමණ පාඩුවක් ලබා ඇති අතර වසර අවසානය වන විට පෙර නොවූ ලෙස රුපියල් බිලියන 120 දක්වා පාඩු වැඩි විය හැකි බවත් ඔහු පැවසීයත
මේ අතර පළාත් අතර සංචරණ තහනම ඉවත් කිරීමත් සමඟ අන්තර් පළාත් බස් සේවා ආරම්භ වීමට නියමිත බැවින් ලබන බ‍්‍රහස්පතින්දායින් පසු මෙරට ඉන්ධන සඳහා ඇති ඉල්ලුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සිගරැට් මිලත් ඉහළට !
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඊයේ (12) ඉදිරිපත් කළ අයවැයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි සිගරට්ටුවක මිල රුපියල් පහකින් වැඩි කර තිබේ.
ඒ මොහොතේ සිට සෑම වෙළඳ සැළකම මේ වනවිට සිගරට්ටුවක මිල රුපියල් පහකින් වැඩි කර ඇත.
එමෙන්ම සුරා බද්දද වැඩි කිරීමට පියවර ගන්නා බවද මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පැවසීය.

මහ බැංකුව ගිණිගනිද්දී මායා බෝංචි වැලේ රජදැක්ම තිරගත වේ !
මහා පොළොවට දැනෙන්නට පටන් ගෙන ඇති තාක්ෂණික කරුණු:-
ඉතිහාසයේ ප්‍රථමවරට (1950 මහ බැංකුව පිහිටුවීමෙන් පසු) ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් (සෘණ) මට්ටමට කඩාවැටී ඇත.
නිල සංචිත ප්‍රමාණයද පසුගිය වසර 11 ක කාලය තුළ අවම අගය වාර්තා කර ඇත.
දේශීය බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන -3.5 මට්ටමක පවතී.
බියගම ඇති මුදල් අච්චු ගසන සමාගම (De La Rue) මුද්‍රණ කටයුතු දිනපතා වාර්තා අළුත් කරයි.
ඉහත කී තාක්ෂණික කරුණු දැන් සාමාන්‍ය ජනතාවට ද මහපොළොවේ දැනෙමින් ඇත. පුරාජේරු කතා මඟින් සැඟවූ විදේශ මුදල් හිඟය - නැතහොත් ගෙවුම් ශේෂ අර්බුදය සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය ක්‍රමයෙන් රට ගිලගනිමින් සිටිති.
ඖෂධ, පොහොර හා රසායනික, ගෑස්, තෙල්, ගල්අඟුරු වැනි දෑ වල සැපයුම අඛණ්ඩව පවත්වාගැනීමේ අපහසුවකින් බැංකු පද්ධතියත් ආණ්ඩුවත් පෙළෙමින් ඇත. කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම් රෝගීන් පීඩාවට පත්කර ඇති ඖෂධ හිඟය, පොහොර නැතිවීම නිසා රත්වී ඇති වැවිලි බිම හා ගොවිබිම පෙන්වා දෙන්නේ මේ අර්බුදයයි. වාර්තා ගත ලෙස ඉහළ යන ග්‍රීන් කාර්ඩ් අයදුම්පත් සහ විදේශ තානාපති කාර්යාල ඉදිරිපස ඇති දිගු පෝලිම් වලින් කියවෙන පණිවිඩය වන්නේ අපේ මව්බිම යන්න හිතෙන රටක් වී ඇති බවය. කෙටියෙන්ම කිව හොත් රට සමාජ අසහනයක එළිපත්තේ හිඳියි. මෙවැනි අවස්ථාවල පවත්නා ආණ්ඩු වල ඉරණම තීරනය වූ ආකාරය පිලිබඳ උදාහරණ ලෝක ඉතිහාසයේ ඇති තරම් ඇත.
ජැක් ගේ මායා බෝංචි වැල නොහොත් මහබැංකුවේ සයමසක ආර්ථික මාර්ග සිතියම !
රටේ මූල්‍ය හා ආර්ථික කළමණාකාරීත්වයේ මර්මස්ථානයක් වන මහ බැංකුව බුන්බත් වීමට ආසන්න වෙමින් පවතියි. පක්ෂ දේශපාලනයේ මැදිහත්වීම විසින් ගිනිගන්නා මහ බැංකුව, යථාර්ථය සැඟවීමට මායා බෝංචි වැලක් අහසේ පෙන්වා දෙන ‘සයමසක මාර්ග සිතියමක්’ ඉදිරි පත් කොට ඇත. අර්බුදයක් පවතින බව පිළිගෙන එයට යථාවාදී විසඳුමක් ඉදිරිපත් කරනු වෙනුවට ‘රත්තරන් බිජු දමනා කිකිළියන් ගෙනඒමේ සැලසුම්’ ඔක්තෝම්බර් මස පළ වැනි දින ගෙන එන ලද මෙම යෝජනාවලියේ ඇතුලත්ය. එමෙන්ම ඉන්නා කිකිළියන් මරා දැමීමේ යෝජනාද මෙහි අඩංගු වේ. මාස 06 ක් ඇතුළත එක්සත් ජනපද ඩොලර් බිලියන 9 කට අධික අරමුදල් ප්‍රමාණයක් සම්පාදනය කිරීමට ද, මාස 04 කට සරිලන ආනයන භාණ්ඩ ගෙනඒමට හැකි සංචිත ගොඩනැගීමටද මේ සැලසුම යෝජනා කරයි.
2019 දෙසැම්බර් 01 දා ධනපතියන්ට බදු සහන ලබාදී රාජ්‍ය ආදායම පහළ දමාගෙන ලෝකයේ ප්‍රධාන ණය ශ්‍රේණිගත ආයතන වලට ශ්‍රී ලංකාව ණය ගෙවීමේ හැකියාව අවධානමට ලක්වී ඇති රටක් බවට නම්කිරීමට අවස්ථාව ලබාදී, ලංකාවට ආධාරදීමට වෙස්සන්තර වර්ගයේ විදේශ රටවල් හා ආයතන ඇති බව විශ්වාස කිරීමට මහබැංකුව ක්‍රියාකිරීමම පුදුමයක් මෙන්ම විහිළුවකි.
සුරඟන කතා කරලියේ ජැක්ගේ භූමිකාවට පණ දීමකි. අනෙක් අතින් තමන්ම සල්ලි අච්චු ගසා ඇතිකළ උද්ධමනය පාලනයට හා ආර්ථික ස්ථායී කරණයට පොලී අනුපාත ඉහළ දමනා අතරේ, 6% ක ආර්ථික වර්ධනයක් ඇතිවේයැයි ප්‍රකාශ කිරීම කවර ආර්ථික විද්‍යා න්‍යායකට අනුකූල වේදැයි මහ බැංකුව තෝරාදිය යුතුය.
බලයෙන් පවත්වාගෙන යන 'නිල' විනිමය අනුපාතය හා ඉවක් බවක් නැතිව සිදුකරනා සල්ලි අච්චුගැසීම නිසා ඇතිවන උද්ධමනය විසින් ඉදිරි වසර කීපය තුළ ආර්ථික වර්ධනය තවත් අඩුවීමක් හෝ ඇතැම් විට සංකෝචනය වීමේ ඉඩකඩක් ඇති කරනු ඇත.
ජැක්ගේ මායා බෝංචි වැල නැතහොත් මහබැංකුවේ සයමසක යෝජනාවලිය රටට විදේශ විනිමය ගෙන එන අපනයන ක්ෂේත්‍රවලට අයුතු චෝදනා එල්ලකර ඇති අතර, අපනයනකරුවන්ගේ ආදායම් බලයෙන් අත්පත්කර ගැනීමට හා එයට අනුගත නොවන්නන්ට දඬුවම් ලබාදීමට යෝජනා කර ඇත. බලහත්කාරී ලෙස කෘතිමව විදේශ විනිමය අනුපාත පාලනය කිරීමෙන් අපනයනකරුවන්ට ලැබිය යුතු රුපියල් ආදායම් අසාධාරණ ලෙස අඩුකර ඇති මහබැංකුව, ඉන් ඔබ්බට ගොස් අපනයනකරුවන්ගේ ආදායම අත්පත්කරගැනීමට මාන බැලීම අසාධාරණයක් පමණක් නොව තරඟකාරී විදේශ වෙළෙඳපොළ සමඟ පොරබදන අපේ අපනයන බිඳ දමන පියවරකි. අපගේ අපනයනකරුවන් වෙනත් විදේශ මූලයන් සොයායෑමට දැනටමත් පියවර ගනිමින් සිටින්නේ ඒ නිසාය.
මායා බෝංචි වැලේ තවත් අංගයක් වන්නේ කිසිදු විනිවිදභාවයකින් තොරව, තරඟකාරී ප්‍රසම්පාදනයකින් තොරව, ජාතික උපායමාර්ගික අවශ්‍යතා ගැන තැකීමකින් තොරව වටිනා රාජ්‍ය දේපොළ විකිණීමේ ක්‍රියාවලියයි. දැනටමත් සිදුකරමින් යන කෙරවලපිටිය යුගදනවි-සොභාදනවි බලාගාර හා ගෑස් සැපයුම බංකොළොත් සමාගමකට පැවරීම, ඛනිජ තෙල් පිරිපහදු, තෙල් කැණීම හා බෙදාහැරීම එවැනිම ආකාරයකට පත්කිරීමේ නව සැලසුම, වරාය ඇතුළත වටිනා ඉඩම් හා කොළඹ නගරයේ පැරණි උරුමය සහිත ගොඩනැගිලි විකුණා දැමීමේ උත්සාහය අයත්වන්නේ මෙයට ය. මේ නිසාම අද වරාය, තෙල් හා විදුලිබල ක්ෂේත්‍රවල වෘත්තීය සමිති අරගලයක් ද ඇතිවී තිබේ.
මේවා සඳහා නීතිය පසෙකලා මැදිහත්වන මුදල් අමාත්‍යාංශ ලේකම් හා එහි උසස් නිලධාරීන්ද නාගරික සංවර්ධනය භාර නිලධාරීන් ද, සෙසු රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද දැනගත යුත්තේ ඔවුනට දිනෙක මේවාට වග උත්තර බැඳීමට සිදුවන බවය. මේවායින් හරිහම්බකරගන්නා දේශපාලන නායකයින් නම් මායා බෝංචි වැලේ එල්ලී ඇතැම් විට සිය දිව්‍යලෝක වැනි මාතෘ භූමීන්ට සැපැත්වීමට ඉඩ ඇත්තේය.
ප්‍රශ්නය කෝවිඩ්ද?
තවත් පැහැදිලිව හඳුනා ගත යුතු කරුණක් වන්නේ අද රටේ පවත්නා අර්බුදය කොවිඩ් නිසා ඇති වුවක් නොවන බවය.
අර්බුදය කොවිඩ් නිසා නම් ලෝකයේ අනිත් රට වලද කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම්, ඖෂධ හිඟයන්, පොහොර හිඟයන් ඇති විය යුතුය. විදේශ තානාපති කාර්යාල ඉදිරිපස දිගු පෝලිම් ඇති විය යුතුය. සංචාරක කර්මාන්තය ප්‍රධාන අදායම කරගත් රටවල් බංකොලොත් විය යුතුය. එය එසේ සිදු නොවී ශ්‍රී ලංකාව පමණක් ගොඩ ගත හැකි මට්ටමෙන් ඔබ්බට යමින් තිබෙනුයේ නුගත් පාලකයන්ගේ අදුරදර්ශී තීරණය. ඒහා සමඟම වසර ගණනක් මුළුල්ලේ ක්‍රියාත්මක කළ බුබුළු ආර්ථික ප්‍රතිපත්තිය.
විවිධ ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන්, හිටපු ජ්‍යෙෂ්ඨ මහබැංකු හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහ ජාත්‍යන්තර ආයතන අවදානම් හැඟවූ වාර අනන්තය. අප විසින් 2014 දී රචනා කරන ලද ‘ආලපාලු ආර්ථිකය’ නම් කෘතියෙන් පවත්නා බුබුළු අර්ථ ක්‍රමයේ හිස් බව පෙන්වා දුන් අතර 2016 වසරේදී ‘මූල්‍ය අගාධයක් අභියස’ නම් කෘතියෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාව 2023 ව වසර වනවිට පෙර නොවූ විරු ආර්ථික අර්බුදයක් කරා ගමන් කරන බවට අනතුරු හැඟවීමක් හා පුරෝකථනයක් කරන ලදී. බදු සහන පැකේජය නිසා රාජ්‍ය මුල්‍ය බංකොලොත් වීමේ අවදානම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම 2020 ජනවාරි මාසයේ සිටම පටන් ගත්තෙමු.
ප්‍රයෝගික වැඩ පිළිවෙලක් !
අපි ප්‍රශ්නය පමණක් ඉදිරිපත් කොට නිහඬ නොවෙමු. විසඳුම්ද ඉදිරිපත් කරමු. අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ වහා පියවර ගත යුතු බවයි. මේ මොහොතේ වහාම සිදු කළ යුතු කාර්ය වනුයේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය හා ණය ප්‍රතිව්‍යුහගතකිරීමයි.
2019 හඳුන්වා දුන් බදු සහන පැකේජය නැවත සලකා බලා ක්‍රමිකව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට පියවර ගැනීම අනිවාර්ය වේ. මේ හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය ආයෝජකයින්ගේත්, මූල්‍ය ආයතනවලත්, විශ්වාසය ගොඩනැගෙනු ඇත. රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය මුදල් අච්චු ගැසීමට ඇති අවශ්‍යතාවය අවම කරනා අතර ආර්ථික ස්ථායීකරණයට මහත් පිටුබලයක් වනු ඇත.
රාජ්‍ය ණය හා පොලී ගෙවීම අසීරු අඩියක පවතින හෙයින් ණය ප්‍රතිව්‍යුහගතකිරීම අනෙක් අත්‍යාවශ්‍ය කාරණයයි. ප්‍රයෝගික රාජ්‍ය මූල්‍ය රාමුවක් ඉදිරිපත්කොට ණය ලබාදී ඇති ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් රටට ඉදිරි වසර කිහිපය තුළ ගෙවීමට ඇති හැකියාවට යෝග්‍ය වන ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුය. එමෙන්ම ආයෝජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට අපට බලකර තිබේ. එසේ නොමැතිව මිත්‍රශීලී රටවල් සමඟ විදේශ මුදල් අතමාරුකරණය මඟින් අර්බුදය කල්දැමීමෙන් සිදු වන්නේ මහා අර්බුදයකට පාර කැපීමත්, අවසානයේ වටිනා රාජ්‍ය දේපොළ හා ඉඩම් විදේශිකයන්ට සින්න වීමට පාර කැපීමත්ය.
රට සහ නීතිය පවුලේ හා හිතවතුන් කිහිප දෙනෙකුගේ බූදලයක් ලෙස සලකන පාලකයන් අවසන්කොට යහපාලනය (ආණ්ඩුව නොවේ) රටේ ස්ථාපිත කල යුතුව ඇත. අනීතික අශිෂ්ට සමාජයක් දැක ඇති ජනතාවට නීතියේ ආධිපත්‍ය පිලිබඳ බලාපොරොත්තුවක්, විශ්වාසයක් ගොඩ නැගිය යුතුව ඇත. දැනට දේශපාලකයාගේ දුරකථන ඇමතුමට වැඩකරන රාජ්‍ය ආයතන ප්‍රතිපත්ති රාමුවක් මත ක්‍රියාත්මක යාන්ත්‍රනයන් වන ආකාරයෙන් බල ගැන්විය යුතුය. පොල් තෙල් වලින්, සීනි වලින් පමණක් නොව කොවිඩ් නිරෝධයනයෙන්, සැනිටයිසර් බෝතලයෙන් තම මඩිය තර කර ගත් ජාවාරම්කාර ව්‍යාපාර පන්තියකට ඉඩදීම නිසා බිඳවැටී ඇති ව්‍යාපාරික විශ්වාසය ගොඩනැගීමද අත්‍යවශ්‍ය වේ.
මෙම පියවර කිසිවක් පහසු ජනප්‍රිය ක්‍රියාමාර්ග නොවේ. ඉදිරි වසර කිහිපය මුළු රටටම අතිශය අසීරු කාලයක් වනු ඇත. නමුත් සාධනීය පියවරක් නොගෙන දැනට පවත්නා ක්‍රමය දිගටම පවත්වාගෙන ගියහොත් රට යළි ගොඩගත නොහැකි අඳුරු යුගයකට යනු ඇත. සම්පත් වලින් පිරුණු වෙනිසියුලාව, සිම්බාබ්වේ රාජ්‍ය අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵල විදහා දක්වන ජීවමාන උදාහරණ වේ. මෙවැනි අර්බුදකාරී අවස්ථා වල වහා පියවර නොගැනීම 'රට සුන්බුන් ගොඩක් බවට පත් කිරීමේ මාර්ගයක්' බව ප්‍රධාන ධාරාවේ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි එවැනි තත්ත්වයකට රට ගමන්කිරීම වැළැක්වීම අප සියළු දෙනාගේම වගකීමයි.
හිටපු අමාත්‍ය ,
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

සීනි මිල පාලනයත් ආනයනකරුවන් අතේ !
සීනි සම්බන්ධයෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කරනු ලැබූ බව පාරිභෝගික කටයුතු අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයට සීනි ආනයනකරුවන් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඊයේ (02) පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙලෙස පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇත.
පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ, ලෝක වෙළඳපොළේ සීනි මිල වැඩිවීම, නැව් ගාස්තු වැඩිවීම සහ ඩොලරයේ අගය පිළිබඳ පවතින ප්‍රායෝගික ගැටලු හේතුවෙන් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
කෙසෛ් වෙතත් රුපියල් 150 ක මිලකට සීනි අලෙවි කිරීම සඳහා ආනයනකරුවන් එහිදී එකඟවී තිබෙන බවත් පැවසේ.
මේ අතර ගෑස්, කිරිපිටි ,තිරිගු පිටි හා සිමෙන්ති සඳහා වූ පාලන මිල ගණන් ද පසුගිය ඔක්තෝබර් 07 වැනිදා ඉවත් කෙරිණ. ඒ අනුව වෙළෙඳ පොල මිල තීන්දු කිරීම මහාපරිමාණ ව්‍යාපාරික පැලැංතිය අතට පත්ව ඇත.

පාන් ආප්ප ප්ලේන්ටි සියල්ලේ මිලත් ඉහළට !
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල ඉහළ දැමීමට නියමිත බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට 450 g පාන් ගෙඩියක් රුපියල් 5.00 කින් මිල ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර ඇත.
එසේම ආපන ශාලා හිමියන් පවසන්නේ මේ වනවිට ගෑස්, තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමග සියලුම ආභාර සහ පාන වර්ගවල මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි.
ඒ අනුව ආප්පයක් රුපියල් 10 කින් සහ කිරි තේ එකක් රුපියල් 20 කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවත් ඊට සමාන්තරව ප්ලේන්ටි ඇතුළු සෙසු ආහාර වර්ගවල මිල ද ඉහළ යනු ඇති බවත් වාර්තා වෙයි.

ගෑස් හිඟයි : යළිත් මිල ඉහළ දැමීමට ඉල්ලීමක් !
නැවතත් දිවයින පුරා ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් මතුව ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරයි.
විශේෂයෙන් ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් අලෙවි සැල් ආශ්‍රිතව ගෑස් නැති බව නිතර ඒවායේ කාර්‍ය මණ්ඩල පවසයි. නැවත ගෑස් ලබාගන්නට හැකි දිනයක් විමසුවත් ඔවුන් ඊට නිසි පිළිතුරක් දීමට අසමත් ය.
මේ හේතුවෙන් පාරිභෝගිකයන් අසරණ වී ඇති අතර ඔවුන් චෝදනා කරන්නේ, මේ වන විට දෛනික අවශ්‍යතාවන් සපුරා ගැනීමට හෝ අදාළ ගෑස් සමාගම් දෙකේම ගෑස් සැපයුම ප්‍රමාණවත් නොවන බවටයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපතිවරයා පවසා ඇත්තේ , මේ වන විට සිය සමාගම ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කර තිබුණ ද, ඒ සඳහා මෙරට වාණිජ බැංකු සතුව ඩොලර් නොමැතිකම හේතුවෙන් අදාළ ප්‍රමාදය මතුව ඇති බවයි.
කෙසේ වෙතත් මෙම අර්බුදකාරී තත්ත්වය යටතේ වුව ද දිනකට ගෑස් ටොන් 300ත් 400ත් අතර ප්‍රමාණයක් දිවයින පුරා බෙදා හරින බව ඔහු පැවසූ බව ආණ්ඩු හිතවාදී ලීඩ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
අදාළ පුවත අනූව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වැගපිටිය සඳහන් කර පවත්නා තත්ත්වය යටතේ අවම තරමින් මෙරට වාණිජ බැංකු හරහා ණයවර සහතික හෝ ලබා ගැනීමට සිය සමාගම උත්සාහ දරමින් සිටින බවයි.
මේ අතර ලිට්‍රෝ ගෑස් සැපයීමේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ , සිය සමාගම අඩුවකින් තොරව ගෑස් සැපයුම අඛණ්ඩව සිදුකරගෙන යන බවයි.
කෙසේ වෙතත් ඔවුන්ගේ තරගකාරී සමාගම වන ලාෆ්ස් සමාගමේ මතුව ඇති ගෑස් සැපයුම අඩු වීම හේතුවෙන් සිය සමාගමේ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව පවසා ඇත.කෙසේ වෙතත් අඩුවකින් තොරව ගෑස් සැපයුමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා ඇත.
මේ අතර ලාෆ් සමාගම විසින් තමා සමාගමෙන් බෙදාහරින ගෑස් වල මිල නැවතත් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙම ඉල්ලීම කර ඇති බව සමාගම සදහන් කලේය. එම සමාගම විසින් මීට පෙර ආසන්න අවස්ථා දෙකකදීම ගෑස් මිල වැඩි කිරීමට කටයුතු කරන ලදී.

සමාගම් වැඩේ අතට ගනියි : මුලින් සහල්, කිරිපිටි දැන් ගෑස් !
කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 750 කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇතැයි එම සමාගම් සඳහන් කරයි.
පාරිභෝගික අධිකාරිය සමඟ පැවති සාකච්ඡාවක දී ඔවුන් යෝජනා කර ඇත්තේ රුපියල් දහසකින් මිල වැඩි කළ යුතු බවයි.
ගෑස් සඳහා වූ මිල පාලනය රජය විසින් අතහැරීමත් සමග සමාගම් විසින් මිල නියම කිරීමට තීරණය කර ඇත.
මේ අතර සහල් මිල තීරණය කිරීම මහා පරිමාණ සහල් මෝල් හිමියන් සිදුකළ බවත් කිරිපිටි මිල තීරණය කිරීම කිරිපිටි ආනයනකරුවන් සිදුකළා මෙන්ම ගෑස් සමාගම් එහි මිල තීරණය කිරීම ගැනත් ආණ්ඩුවට විවේචන පවතී.

මිල ඉහළ දැම්මත් : රට පුරා ගෑස් හිඟයක් !
මේ දිනවල ලාෆ් සහ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් වර්ග දෙකම වෙළෙඳපොල තුළ දැඩි හිඟයක් පවතින බව වාර්තා වේ.
මෙම ගෑස් වර්ග දෙකෙන් එකක්වත් මිලදී ගැනීමට නොහැකි වීමෙන් ගෑස් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද වාර්තා වේ.
ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩව්ලිව්. කේ. එච්. වෑගපිටිය පවසන්නේ ඩොලර් හිඟය හේතුවෙන් ලාෆ් ගෑස් හිඟයක් ඇති වී ඇති බවත් එසේ වුවද දෛනිකව ගෑස් ටොන් 300ත් 400ත් අතර ප්‍රමාණයක් වෙළෙඳපොලට සපයන බවත්ය.
මේ වනවිට බැංකුවලින් ඩොලර් නොලැබීම නිසා ගෑස් ආනයනය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවත් ණයවර ලිපියක් විවෘත කිරීමට බැංකුවට වැදීමට සිදුවී ඇති බවත් ඔහු සඳහන් කරයි.
මේ වනවිට ලාෆ් ගෑස් හිගයක් ඇතිව තිබෙන නිසා ලිට්‍රෝ ගෑස් ඉල්ලුම ඉහළ ගොස් ඇති බැවින් යම් හිගයක් ඇතිවී තිබෙන බවත් තම සමාගම සාමාන්‍ය පරිදි ගෑස් සැපයුම පවත්වාගෙන යන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙකු මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
(Lanka truth )

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් , සිමෙන්ති : පාලන මිල ඉවතට !
කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩවල පාලන මිල ඉවත් කර ඇති බව වාර්තා වෙයි.
සිමෙන්ති, එල්පී ගෑස්, කිරිපිටි සහ තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර අද(07) පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.
කෙසේ වුවත් මෙම භාණ්ඩ මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.
එහෙත් ප්‍රශ්නය වන්නේ මිල වැඩිවීම අසාධාරණද සාධාරණද යන්න තක්සේරු කරන්නේ කවුද යන්න සහ භාණ්ඩ මිල ඉහළ යාමට සාපේක්ෂව ආදායම් වල කිසිදු වැඩිවීමක් සිදුනොවීමය.
එබැවින් මේ තීන්දුවලින් ජනතාවට ඉතුරු අසහනය විතරය.

F & G තැම්පත්කරුවන්ට යළිත් බාල්දියක් !
සෙලින්කෝ සමාගම් සමූහය යටතේ පැවති දේපළ සංවර්ධන සහ දේපළ වෙළඳාම් ව්‍යාපාරික කටයුතු වල නිරත වන ප්‍රධාන පෙළේ සමාගම් ද්විත්වයක් වන F & G Real Estate Co. Ltd සහ F & G Property Developers (pvt) Ltd යන සමාගම් ද්විත්වයේ මුදල් තැන්පතුකරුවන්ට වසර 13කට පමණ පසුව යම් හෝ සාධාරණයක් ඉටුවීමට නියමිතව තිබියදී එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් වෙතින් එල්ල වන බලපෑම් හමුවේ මේ සඳහා සාධාරණයක් ඉටුවීම දිනෙන් දින කල් යන තත්වයක් උදාවී ඇත.
මේ බව සඳහන් කරමින් එහි තැම්පත්කරුවන්ගේ සංගමයේ සභාපති සී. කල්දේරා විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේද දැක්වෙයි.
2008 වසරේදී සෙලින්කෝ සමාගම් සමූහයේ සිදුවූ හදිසි කඬාවැටීමත් සමඟ පෙර කී සමාගම් ද්විත්වයේ මුදල් තැන්පත් කර තිබූ තැන්පත්කරුවන් 4200කගේ රුපියල් බිලියන 07 කට අධික මුදල් ආපසු ලබාගැනීමේ දරුණු අර්බුදයකට මුහුණපෑමට අපට සිදුවිය. මෙම අර්බුදයට විසඳුමක් බලාපොරොත්තුවෙන් 2009 වසරේදී අප විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ SCFර්R 317/2009 අංකය යටතේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන ලද අතර ගරු අධිකරණය විසින් F & G Real Estate Co. Ltd සහ F & G Property Deveopers (pvt) Ltd යන සමාගම් ද්විත්වය සතු වත්කම් කළමනාකරණය කිරීම සදහා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන ලදි.
මෙම අධ්‍යක්ෂ මණ්ඩලය රොෂාන් ප්‍රනාන්දු, ලයනල් කටුවාවල, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, හිටපු යුධ හමුදා නිලධාරී රංජන් ද සිල්වා සහ මහා භාන්ඩාගාරයේ හිටපු ලේකම් ඩික්සන් නිලවීර යන මහත්වරුන්ගෙන් සමන්විත විය. ඔවුනට මෙම සමාගම් සතුව පැවති වත්කම් දෛනික ව්‍යාපාරික මෙහෙයුම් පවත්වාගෙන යමින් කළමනාකරණය කිරීමේ වගකීම පවරා දෙන ලදි.
2013 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය විසින් මෙම සමාගම් ද්විත්වයේ වත්කම් සහ වගකීම් නිසි ලෙස කළමනාකරණය කල හැකි, ඒ සදහා කැමැත්තක් දක්වන ආයෝජකයෙකු සොයා මෙම සමාගම් ද්විත්වයෙහි වගකීම ඔවුනට පැවරීම සදහා පියවර ගන්නා ලෙස ස්වාධීන තැන්පත්කරුවන්ගේ සංගමයට නියම කරන ලදි.
ඉන් අනතුරුව මෙම සමාගම් ද්විත්වය අත්පත් කරගැනීම සදහා පාර්ශව කිහිපයක් අවස්ථා කිහිපයකදී උත්සාහ කලද ඒ සදහා ඔවුන් විසින් ඉදිරිපත් කල ආයෝජන සැලසුම් කිසිවක් ඵලදායී ඒවා බවට පෙනීගියේ නැත. අනතුරුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා මහබැංකුව, පලපුරුදු සහිත අන්තර්ජාතික මූල්‍ය කළමනාකරණ සමාගමක් වන KPMG සමාගමේ උපදේශක සහායද ඇතුව සුදුසු ආයෝජකයෙකු තේරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් දියත් කල අතර මේ සඳහා යෝජනා ඉදිරිපත් කල සමාගම්වල තාක්ෂණික සහ මූල්‍ය ශක්තිය සළකා බැලීමෙන් පසුව ZRA Holdings (Pvt) Ltd විසින් ඉදිරිපත් කල යෝජනාව වැඩිම ඵලදායිතාවයක් සහිත යෝජනාව ලෙස පිළිගන්නා ලදි. මෙම යෝජනාව අනුව රුපියල් මිලියන 500ක මුදලක් ආයෝජනය කරමින් මෙම සමාගම් ද්විත්වය ZRA Holdings (Pvt) Ltd නමින් අලුතින් පිහිටවූ සමාගමක් යටතට පත් කොට සියලූම තැන්පතුකරුවන්ට සාධාරණයක් ඉටුවන පරිදි ව්‍යාපාරික කටයුතු කළමනාකරණය කරගෙන යාම සදහා විධිමත් සැලසුමක් ඉදිරිපත් කරන ලදි.
F & G Property Deveopers (pvt) Ltd සමාගමේ තැන්පත්කරුවන් සඳහා තැන්පත් කල මුදලින් 51% මුදලිනුත්, ඉතිරි 49% සඳහා ජන්ද බලය රහිත කොටස් හිමිකමත් ප්‍රධානය කෙරෙන අතර , F & G Real Estate Co. Ltd සමාගමේ තැන්පතුකරුවන්ගේ මුදල් 61%ක් මුදලිනුත්, ඉතිරි 39% ජන්ද බලය රහිත කොටස් හිමිකම් ලබාදීමෙනුත් පියවීමට යෝජනා කරන ලදි. තැන්පත්කරුවන් සදහා ගෙවිය යුතු මුදල් වසර දෙකක කාලයක් තුලදී ගෙවා අවසන් කිරීමට එමගින් සැලසුම් කර තිබුණි.
ඒ අනුව මෙම පරිවර්තනය සිදුකිරීම සදහා 2021 මාර්තු මස 24 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය සිය අවසරය ප්‍රදානය කල අතර මෙම සමාගම් ද්විත්වය කළමනාකරණය කිරීම සදහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත්කල අධ්‍යක්ෂ මණ්ඩලය සහ ZRA Holdings (Pvt) Ltd සමාගම මෙම ආයෝජන ගිවිසුමට 2021 අප්‍රේල් මස 30 වන දින අත්සන් කරන ලදි. එම ගිවිසුම ප්‍රකාරව දින 60ක කාලයක් තුලදී රුපියල් මිලියන 500ක මුදලට අදාළව පෙර සමාගම් ද්විත්වයෙන් නව කොටස් නිකුතුව සිදුකල යුතු අතර එම කොටස් මිලදී ගැනීමෙන් පසුව ZRA Holdings (Pvt) Ltd සමාගම පෙරකී සමාගම් ද්විත්වයේ ප්‍රධාන කොටස් හිමියා වශයෙන් මෙහෙයුම් ක්‍රියාවලියට සම්බන්ධ වේ. අනතුරුව අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙක් සහ ZRA Holdings (Pvt) Ltd සමාගමේ නියෝජිත අධ්‍යක්ෂකවරුන් විසින් විසින් කළමනාකරණ කටයුතු සිදුකරන අතර සියලු තැන්පත්කරුවන්ගේ ගෙවීම් පියවීමෙන් අනතුරුව භාරකාර මණ්ඩලය ක්‍රමිකව සිය රාජකාරිවලින් බැහැරව නව කළමනාකරණයට මෙම ව්‍යාපාර කටයුතු භාර දිය යුතුය
මෙම ආයෝජන ක්‍රියාවලියේ දෙවන පියවර ලෙස ආයෝජක සමාගමට කොටස් නිකුත් කිරීම සඳහා F & G Property Deveopers (pv) Ltd සමාගමේ කොටස්කරුවන්ගේ සහ භාරකාර අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමක් 2021 ජූලි මස 30 දින පැවති අතර එදිනට ZRA Holdings (Pvt) Ltd සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් ගිවිසුම් ප්‍රකාරව රුපියල් මිලියන 500ක බැංකු අණකර ඉදිරිපත්කර තිබුණි. නමුත් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට පහත නම් සඳහන් කොටස්කරුවන්/ අධ්‍යක්ෂකවරුන් හා අධ්‍යක්ෂවරුන්, ඔවුන්ගේ අනුමැතියලත් නියෝජිතයින් විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර මේ සඳහා අනුමැතිය ලබාදීමට සලකා බැලීමට වෙනත් දිනයක් ඔවුන් විසින් යෝජනා කරන ලදි.
එම පිරිස නම්,
- ලලිත් කොතලාවල
- කේ.ඒ.එස් ජයතිස්ස
- මර්වින් ජයසිංහ
- මාලනී සභාරත්නම්
මෙමඟින් ආයෝජකයා හට රුපියල් මිලියන 500ක කොටස් නිකුත් කිරීම හරහා මෙම ක්‍රියාවලියට ඇතුලත්වීම සදහා වන එකඟත්වය වළක්වාලන ලදි. මෙහිදී කොටස්කරුවන්ගේ තර්කය වූයේ ඔවුන් මෙම ආයෝජන ගිවිසුම පිළිබඳව කිසිවක් නොදන්නා බවයි. ඔවුන්ගේ මෙම ආකල්පය ඉතාම හාස්‍යජනක වන්නේ ඔවුන් පෙරකී ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ පාර්ශවකරුවන් වන හෙයින් සහ 2021 මාර්තු 24 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳව නිකුත් කල අවසන් තීන්දුව සඳහා අදාළ සියලු පාර්ශවයන් වන ශ්‍රී ලංකා මහ බැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව, තැන්පතුකරුවන්ගේ සංගම්, සමාගම් ද්විත්වයේ කොටස්කරුවන් සහ අධ්‍යක්ෂවරුන් විසින් ඔවුන්ගේ නීතීඥයින් මඟින් ඉහත කී ආයෝජන ගිවිසුමට හා ආයෝජන ක්‍රියාවලියට ඔවුන්ගේ එකඟතාවය/අනුමැතිය ලබාදී තිබීමයි. තවද කොටස්කරුවන්/ අධ්‍යක්ෂවරුන් හට මේ පිළිබඳව විරෝධතාවයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍යව තිබුණේ නම්, ඔවුන් එය කල යුතුව තිබුණේ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර වන අතර මේ අවස්ථාවේදී ඒ සඳහා කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැත.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මඟින් බලය ලබාදී ඇති මෙම ආයෝජන ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට බාධා පැමිණවීම සහ එය ප්‍රමාද කිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැළකිය හැක.
තවද කල් දමන ලද කොටස්කරුවන්ගේ සහ භාරකාර අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමක් 2021 නොවැම්බර් 02 දිනට යොදාගෙන ඇති අතර දැනාමත් කොටස්කරුවන් විසින් ඉල්ලා ඇති පරිදි අදාළ සියලුම ලිපි ලේඛන දැනටමත් ඔවුන් වෙත යොමුකර ඇත. මෙම රැස්වීමේදී අධිකරණය විසින් අනුමත කරන ලද ක්‍රියාමාර්ගයට සහය දැක්වීම සඳහා සමාගමේ සමහර කොටස්කරුවන් දැනටමත් කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර අනිත් කොටස්කරුවන්ගේ තීරණ මේ වනවිටත් අවිනිශ්චිත තත්වයේ පවතී.
ඉහත කරුණු අනුව විවිධ පාර්ශවයන්ගේ බාධා කිරීම් හමුවේ තැන්පත්කරුවන් හට සහන සැලසීමේ ක්‍රියාවලියේ ඉදිරි ගමන 2021 න්වැම්බර් 02 දින කොටස්කරුවන්ගේ තීරණය මත රැදී පවතින අතර තමන්ට සාධාරණයක් වනතුරු තැන්පත්කරුවන් විමසිල්ලෙන් බලා සිටියි.
සී. කල්දේරා
සභාපති

වෙළෙඳ පොළේ කිරිපිටි හිඟය උග්‍රයි !
වෙළෙඳපොළේ සති දෙක තුනක් තිස්සේ කිරිපිටි හිඟය උග්‍රවීම නිසා පාරිභෝගික ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටිති.
කිරිපිටි මිල ගණන් ඉහළ දමන ලෙස ඉල්ලා ආනයනික සමාගම් කිරිපිටි මුදා නොහැරීම හේතුවෙන් මෙම හිඟය හටගෙන තිබේ.
විශේෂයෙන් කුඩා දරුවන් සිටිනා පවුල් මෙයින් බරපතල ගැටලුවලට මුහුණ දී සිටින බව පාරිභෝගිකයෝ පවසති. ඇතැම් විට දේශීය වශයෙන් නිපදවන කිරිපිටි වර්ග වෙළෙඳපොළට පැමිණියත් වෙළඳුන් විසින් ඒවා අලෙවියේදී විවිධ කොන්දේසි පැනවීම හේතුවෙන් පාරිභෝගිකයින් අපහසුතාවට පත්වන බව දැනගන්නට තිබේ.
කිරිපිටිවලට අමතරව ඇතැම් ප්‍රදේශවල සිමෙන්ති සහ ගෘහස්ථ ගෑස් හිඟයක්ද හටගෙන ඇතැයි අප වාර්තාකරුවෝ පවසති.
(Deshaya )

මූඩිස්ට ලංකාවේ සංවර්ධනය තේරෙන්නේ නෑ - කබ්‍රාල්
ශ්‍රී ලංකාවේ වැඩිදියුණු වන ආර්ථික තත්වයන් සහ ආයෝජක හැඟීම් හඳුනා ගැනීමට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නැවත වරක් අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසයි.
මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටින්නේ ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නිකුත් කළ වාර්තාවලට ප්‍රතිචාර දක්වමිණි.
මූඩීස් ආයතනය විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගත් තීරණාත්මක උත්සාහයන් අතාර්කිකව නොසලකා හැර ඇතැයිද මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.
මුඩීස් ආයනය මෙම තක්සේරුවට පැමිණ ඇත්තේ වැරදි වේලාවක බවත්, ශ්‍රී ලංකා රජය අයවැය ඉදිරිපත් කිරීමට සැරසි ඇති මොහොතක රටේ ආර්ථික හැකියාව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් පත්කර ඇති මෙම වාර්තාව පිළිබඳ කනගාටු වන බවත් මහ බැංකු අධිපතිවරයා සිය ට්විට්ර් සටහනේ සදහන් කර ඇත.
ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේය.
(Lanka truth )

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් !
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් ලබාදීමට ලෝක බැංකුව එකඟවී ඇති බව වාර්තා වෙයි.
ඒ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිලදී ගැනීම වෙනුවෙන් හා එන්නත් ලබාදීම වෙනුවෙනි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර දැක්වීම හා සෞඛ්‍ය පද්ධති සුදානම් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම අතිරේක ණය මුදල ලබාදීමට නියමිතය.
මෙම අතිරේක මුල්‍යයන පහසුකම ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කාලා හමාරයි : එළවළු මිල 100% කින් ඉහළට !
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා ලැබෙන එළවළු විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් එළවළු මිල සියයට 100 කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ බාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා පවසයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට 70ක් පමණ බෙදා හරියි
පසුගිය 21 වැනි දින සිට එක වැරම එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑම පටන් ගත් බව වෙළෙන්දෝ පවසති.
ඒ අනුව පහත රට සහ කන්ද උඩරට ප්‍රදේශයවලින් ලැබෙන එළවළු වර්ග සියල්ල කිලෝ එකක තොග මිල රුපියල් දෙසිය සීමාව ඉක්මවා යමින් පවතින බව වෙළෙන්දෝ පවසති.
ඒ අන් අනුව වම්බටු, මෑ කරල්,පතෝල , කැරට් ,ලීක්ස්, මාළු මිරිස්,දඹල, ලීක්ස්, බීට්, අමුමිරිස් ආදී එළවළු වර්ග සියල්ලම රුපියල් 120 සිට 220 දක්වා වූ විවිධ මිල පරාසයන් යටතේ අලෙවි විය.
(Mawrata)

කිරිපිටි විතරක් නෙවෙයි : තිරිඟු පිටි - සිමෙන්ති මිලත් ඉහළට !
පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටුව කළ අධ්‍යනයන්ට අනුව ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතිය ලබාගෙන කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට ඉදිරි දින කීපයේදී සිදුවනු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.
මෙම භාණ්ඩ තුනේ ජාත්‍යන්තර වෙලෙඳපොලේ මිල වැඩි වීම නිසා දේශීය මිල වැඩි කරන ලෙස ආනයනකරුවන් මාස හයක පමණ කාලයක සිට ඉල්ලීම් කර තිබියදී ඒ පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා කළ බව පැවසූ එම නිලධාරියා පාරිභෝගික අධිකාරියේ අදාල මිල කමිටු ඒ පිළිබඳව වර්තමාන තත්වයට අනුරූපීව ගණනය කිරීම් කර ඇති ආකාරයට ඉදිරියේදී ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතියක් ගෙන නව මිල ගණන් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටු සහ එහි මණ්ඩලය මෙම භාණ්ඩ තුන පිළිබඳව කළ අධ්‍යනයන් පිළිබඳ තොරතුරු ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බවත් කිරිපිටි කිලෝවක වර්තමාන මිල රුපියල් 940 ක් තීරණය කරන අවස්ථාවේදී ජාත්‍යන්තර වෙළෙඳපොලේ කිරිපිටි මෙටි්‍රක්ටොන් එකක් ඩොලර් 3,070 ක් වුවද වර්තමානය වන විට කිරිපිටි මෙට්‍රික්ටොන් ඒකක් ඩොලර් 3,700 ක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
(Lankadeepa)

ලංකාව විදෙස් ණය ගෙවීම සැකයි - ෆීච් අනතුරු ඇඟවීමක් !
ශ්‍රී ලංකාවට සිය විදෙස් ණය පැහැර හැරීමේ ‘සැබෑ හැකියාවක්’ පවතින බව අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච්’ අනතුරු අඟවා ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් රැසක් පිළිබඳව ආයෝජකයන් දැනුවත් කිරීම වෙනුවෙන් නිකුත් කෙරෙන “ආයෝඡකයින්ට දැන ගැනීමට අවශ්‍ය දේ: නැගී එන-වෙළෙඳපළේ ස්වෛරී වගකීම්-4Q21”(What Investors Want to Know: Emerging-Market Sovereigns – 4Q21) වාර්තාව ඔස්සේ ෆිච් මෙම අනතුරු ඇඟවීම කර තිබේ. “2020 නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා බාහිර මූල්‍ය කටයුතු බිඳෙන සුළු මට්ටමක පවතින අතර 2021 ජූනි මාසයේදී අපගේ එම ‘CCC’ ශ්‍රේණිගත කිරීම නැවත තහවුරු කරමින් සැලකිය යුතු ණය අවදානමක් පෙන්නුම් කර තිබේ” යැයි ෆිච් රේටින්ග්ස් අධ්‍යක්‍ෂවරියක වන සාගරිකා චන්ද්‍ර අදාළ වාර්තාවෙන් ප්‍රකාශ කර තිබේ.
2021 ඉතිරි කාලය ශ්‍රී ලංකාවට ගෙවිය යුතුව ඇති විදේශ ණය වලින් වැඩි ප්‍රමාණයක් ව්‍යාපෘති වෙනුවෙන් සහ බහුපාර්ශ්විය ණය වෙනුවෙන් ගෙවිය යුතුව ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.
ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම් පිළිවෙළින් 2022 ජනවාරි සහ ජූලි මාසවලදී ඩොලර් මිලියන 500 ක් සහ ඩොලර් බිලියන 1 ක් වශයෙන් පවතින බවද ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම දිගින් දිගටම බැහැර කරන බවද පවසන එම වාර්තාව 2023 වන විට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 2.5 දක්වා පහත වැටෙනු ඇති බවට ද අනාවැකි පළකර ඇත.
(මව්රට )

ගෑස් සමාගම් ආයෙත් මිනිසුන්ට ගෑස් පෙන්වන සූදානමක් !
ගෑස් මිල ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් යළිත් වරක් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.
අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට ගෑස් සමාගම් මෙසේ යළිත් ඉල්ලීමක් කර ඇත්තේ ලෝක වෙළඳපොළ තුළ ගෑස් මිල ඉහළ යෑම හේතුව ලෙස දක්වමිනි.
පසුගිය සමයේ මෙරට වෙළඳ පොල තුළ ගෑස් හිඟයක් මතුවිය. ඒ ලාෆ් සමාගම සිය කටයුතු අත්හිටුවීම නිසාය.
පසුව ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට ආණ්ඩුව අවස්ථාව ලබාදුන්නේය. ඒ සමග නිශ්පාදන කටයුතු නැවත ඇරඹුණු බව ලාෆ් සමාගම පැවසූවත් වෙළඳ පොල තුළ ගෑස් වල හිඟයක් පවතී.
Page 7 of 8