සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු : ලෝක බැංකුවේ මූල්‍ය ආධාර නෑ !

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු : ලෝක බැංකුවේ මූල්‍ය ආධාර නෑ !

ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු නව මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව ලෝක බැංකුව ඊයේ (28) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඒ සඳහා ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එසේම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුල් වූ ව්‍යූහාත්මක හේතූන් ආමන්ත්‍රණය කිරීමද සිදු විය යුතු බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව සහ ඉන් ශ්‍රී ලාංකික ජනතාවට එල්ල වන බලපෑම පිළිබඳ දැඩි කණස්සල්ලට පත් ව ඇති බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

දුප්පත් සහ අවදානමට ලක් වූ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන උග්‍ර අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය මඟ හරවා ගැනීමට ඖෂධ, ගෑස්, පොහොර, පාසල් ළමුන්ට ආහාර සහ දැඩි අවදානමට ලක් වූ පවුල් වලට මුදල් ආධාර ලබා දීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට දැනටමත් අනුමත කර ඇති මූල්‍ය ව්‍යාපෘති වල සම්පත් නැවත සකස් කරන බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඊයේ(28) වන විට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක මුදලක් හදිසි අවශ්‍යතාවයන් වෙනුවෙන් නැවත සකස් කර නිදහස් කර ඇතැයි ලෝක බැංකුව පෙන්වා දුන්නේය.

දුප්පත් සහ දැඩි අවදානමට ලක් වූ පවුල් වෙනුවෙන් අවශ්‍ය සහාය ලැබෙන බවට තහවුරු කිරීම සඳහා ආයතන, සංවිධාන සමඟ සමීපව කටයුතු කරමින් ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යපෘති නිරීක්ෂණය කරන බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

කඩිනමින් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි !

ලෝක බැංකුව නිකුත්කළ නිවේදනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දේශපාලන - ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ලංකාව කඩිනමින් ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වෙත යොමුවිය යුතුව ඇති බවයි.

එහිදී සුදු අලි බවට පත්ව ජාතික ආර්ථිකය කෙරෙහි පීඩනය එල්ල කරන රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් රැඩිකල් තීන්දු ක්‍රියාත්මක කිරීමට යොමුවිය යුතු බවත් ඔවුන් පවසයි .

සම්ප්‍රදායික වාමාංශිකයන් සහ වෘත්තීය සමිති මෙහිදී විරෝධය දැක්වීම අනිවාර්යයක් විය හැකි නමුත් , පවතින අර්බුදයේ දිග පළල සහ ගැඹුර සම්බන්ධයෙන් ජනතාව වෙත නිසි අවබෝධයක් ලබාදීමට ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතු බවත් ඔවුන් පවසයි .

එහිදී පටු මැතිවරණ සටන් පාඨ සහ රාජ්‍ය දේපළ යන ජාතික මිත්‍යාව අතික්‍රමණය කිරීම ආණ්ඩුව වෙත අභියෝගයක් විය හැකි නමුත් , දීර්ඝ කාලීනව තවදුරටත් අර්බුදයේ ගිලෙනවාද නැද්ද යන්න ජනතා විනිශ්චය වෙත යොමුකළ යුතු බවත් දේශපාලන - ආර්ථික විශ්ලේෂකයන් අවධාරණය කරයි.

මෙහිදී පටු දේශපාලන සීමා මායිම් වලින් ඉවත්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ යථාර්ථවාදී ලෙස කටයුතු කිරීම ජනතා නියෝජිතයන් වෙත බලපෑම් කිරීමට අවශ්‍ය බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න