“Hope 4 Sri Lanka” වැඩසටහන ඇරඹෙයි

“Hope 4 Sri Lanka” වැඩසටහන ඇරඹෙයි

තරුණ ප්‍රජාව ව්‍යාපාර කරා යොමු කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට තරුණ ව්‍යවසායකයින් 50,000 ක් බිහිකිරීමේ “Hope 4 Sri Lanka” නවතම වැඩසටහන පසුගියදා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සංකල්පයක් අනුව ආරම්භ කළ “Hope 4 Sri Lanka” වැඩසටහන අමාත්‍යතුමාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කරණු ලබයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බිහිකිරීම හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ව්‍යවසායක නවකයින් දිස්ත්‍රික් මට්ටමින් තෝරාගැනීම සිදුකෙරේ.

ඒ අනුව, මේ සදහා තරුණ තරුණියන් දිස්ත්‍රික් මට්ටමින් පවත්වන සම්මුඛ පරීක්ෂණ හරහා තෝරාගනු ලබන අතර, තෝරාගත් කණ්ඩායම් සදහා දින 05 ක ව්‍යවසායකත්ව පුහුණුවක් ලබා දීම සිදු කරයි.

වයස අවුරුදු 18 ත් 45 ත් අතර පිළිගත් උසස් අධ්‍යාපන මට්ටමක් හෝ වෘත්තීය නිපුණතා සහතිකයක් හිමි, තමාගේම ව්‍යාපාරයක් පිළිබඳව පැහැදිලි ඉලක්කයක් සහිත තරුණ තරුණියන්ට මේ සදහා ඉදිරිපත් විය හැක.

විවිධ ක්ෂේත්‍ර හරහා තරුණ ව්‍යවසායකයින් නිර්මාණය කිරීමේදී ඔවුන්ට අවශ්‍ය මූලික දැනුමේ සිට ව්‍යාපාරයක් ආරම්භ කිරීම, වෙළඳපොළ සොයාගැනීම හා විවිධ අවපාතයන්හි දී නොවැටි ව්‍යාපාරය පවත්වාගැනීම දක්වා තරුණ තරුණියන් දැනුමින් ශක්තිමත් කරමින් නිරන්තර නිරීක්ෂණවලට ලක්කිරීම මෙහිදී සිදුවේ.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දැනුම ලබාදීම හා මූල්‍ය අවශ්‍යතාවය ඉටුකරදීම සඳහා රාජ්‍ය බැංකු සම්බන්ධ කරදීම මෙහිදී සිදුවේ. මෙම ක්‍රියාවලියේ දී ව්‍යාපෘතියට සම්බන්ධ වන අනෙකුත් අතරමැදි පාර්ශ්වය ලෙස USAID ආයතනයට අනුබද්ධ YouLead ආයතනය ක්‍රියා කරනු ලබයි.

YouLead හි ශ්‍රී ලංකා ශාඛාව මගින් Hope 4 Sri Lanka ව්‍යාපෘතිය හා සම්බන්ධ වන ව්‍යාවසායකයින් සඳහා අවශ්‍ය පුහුණුව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙයි.

නව ව්‍යාවසායකයින් ලබාගන්නා ණය මුදල් වෙනුවෙන් 60%ක ඇපකරයක් ද YouLead ආයතනය මගින් ලබාදීමට මෙහිදී එකගතාවය පලකර ඇත.

ලාංකීය නිර්මාණශීලී තරුණ්‍යයට ව්‍යවසායකයින් ලෙස නැඟීසිටීමට මඟපෙන්වීම තුලින් ඔවුන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම සහ දළ ජාතික නිෂ්පාදනයට තරුණ්‍යයේ දායකත්වය මේ හරහා ලබා ගැනීමද මෙමගින් අපේක්ෂා කරයි.

මෙහිදි සුලු පරිමාණ ව්‍යවසායකයින් සදහා බැංකු ණය ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි හා Startup Sri Lanka වැඩසටහනේ ජයග්‍රහකයින් හට චෙක්පත් සහ සහතිකපත් පිරිනැමීම ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න