Language Switcher

V2025

කැනඩාවේ ටෲඩෝ සිය අගමැති තනතුර රැක ගනී

කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ නැවත වරක් අගමැති තනතුර පත්වීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඒ පිටපිට දෙවැනි වරටත් කැනඩා මහ මැතිවරණය ජයග්‍රහණය කරමිනි. කෙසේ වෙතත් ඔහුගේ ජනප්‍රියත්වය සැලකිය යුතු අන්දමකින් බිඳවැටී ඇත.

පසුගිය 2015 වසරේදී ආසන 177 ක් දිනා ගනිමින් බලයට පැමිණි ටෲඩෝගේ ලිබරල් පක්ෂය මෙවර දිනාගෙන ඇත්තේ ආසන 157 ක් පමණි. ඒ අනුව ඔවුන්ට ආසන 20 අහිමි වී තිබේ. 2015 දී බහුතර බලයක් සහිතව ආණ්ඩුව පිහිටවූ ලිබරල් පක්ෂයට මෙවර සුළුතර ආණ්ඩුවක් පිහිටුවීමටයි සිදුව තිබෙන්නේ.

දෙවැනි තැන දිනාගත් ඇන්ඩෘ ෂියර්ගේ කන්සර්වෙටිව් පක්ෂය ආසන 121 ක් දිනාගෙන තිබෙනවා. එය පසුගිය මැතිවරණයට සාපේක්ෂව ආසන 26 ක වැඩිවීමකි. 

විශේෂත්වය වන්නේ ආසන 121 ක් පමණක් හිමි වුවද කන්සර්වේටිව් පක්ෂය, ටෲඩෝගේ ලිබරල් පක්ෂව අභිබවා යන ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන තිබීමයි. ලිබරල් පක්ෂය සමස්ත ඡන්ද 5,915,950 ක් හිමිකර ගනිද්දී කැනේඩියානුවන් 6,155,662 ක් කන්සර්වේටිව් පක්ෂයට සිය කැමැත්ත ලබා දී ඇත.

ජාත්‍යන්තර විචාරකයන් සඳහන් කරන්නේ මෙය ටෲඩෝ ලැබූ ප්‍රබල පරාජයක් බවයි.

තෙවැනි ස්ථානයට පත් වූ බ්ලොක් ක්විබොකොයිස් පක්සය 32 ක් දිනාගත් අතර විශේෂත්වය වන්නේ එම ආසන සියල්ල ක්විබෙක් ප්‍රාන්තයේ ආසන වීමයි. නිව් ඩිමොක්‍රටික් පක්ෂය ආසන 24 ක් දිනාගෙන තිබේ. කෙසේ වෙතත් ඔවුන්ට පසුගිය මැතිවරණයේදී ආසන 39 ක් හිමිව තිබිණි.