Image

ලංකා ලේඛක සංවිධානය මෙහෙයවන නිර්මාණ යාත්‍රා සාහිත්‍ය නිර්මාණ අත්පිටපත් තරගය

ලංකා ලේඛක සංවිධානය මෙහෙයවන නිර්මාණ යාත්‍රා සාහිත්‍ය නිර්මාණ අත්පිටපත් තරගය

(සිංහල/ දෙමළ මාධ්‍යය) 2026/2027

ලංකා ලේඛක සංවිධානය විසින් ලාංකික සාහිත්‍යයේ හෙට දවසේ උරුමය උදෙසා කැපවන නවක ලේඛක ලේඛිකාවන්ට සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට අත්වැලක් සැපයීමේ අරමුණෙන් සංවිධානය කරනු ලබන නිර්මාණ යාත්‍රා සාහිත්‍ය නිර්මාණ අත්පිටපත් තරගය සඳහා නිර්මාණ කැඳවනු ලැබේ.

 

තරග කොන්දේසි :

01. ශ්‍රී ලාංකික පුරවැසියන් සැමට (දෙස් විදෙස් පදිංචි) මෙම තරග සඳහා ඉදිරිපත් විය හැකි අතර සිංහල සහ දෙමළ භාෂා ද්වයෙන් ම නිර්මාණ පිටපත් ඉදිරිපත් කළ හැකි ය.

02. තරගය සඳහා ඉදිරිපත් කරන සෑම අත්පිටපතක් ම A4 කඩදාසියෙහි තනිපිට පැහැදිලි අත්අකුරින් හෝ පරිගණක අක්ෂර සංයෝජනයෙන් යුතුව ඉදිරිපත් කළ යුතු අතර සෑම පිටපතක ම ඊට අදාළ පිටු අංකනය කර, මනාව බැඳ ඉදිරිපත් කළ යුතු ය.

03. මෙම තරගය සඳහා නිර්මාණ පිටපත් ඉදිරිපත් කරන අවස්ථාවේ දී අදාළ ලේඛකයා/ලේඛිකාව ලාංකික පසුතලයේ හෝ විදේශයක දී හෝ පිරිනමන කිසිදු ජාතික මට්ටමේ සම්මානයක් (නිදසුන් රාජ්‍ය/ස්වර්ණ පුස්තක/රජත පුස්තක / විද්‍යොද්‍ය/ගොඩගේ/ විදර්ශන/ෆෙයා වේ ආදී වශයෙන්) හිමි කර නොගත් පූර්ණ ලෙස ම ආධුනික මට්ටමේ ලේඛක/ලේඛිකාවක විය යුතුය. ප්‍රාදේශීය මට්ටමේ තරග ජයග්‍රහණ ලබා ඇති අයට මෙම කොන්දේසිය අදාළ නොවේ.

04. ඉදිරිපත් කරන පිටපතේ ග්‍රන්ථ නාමය හැරුණු විට කතුවරයා හඳුනා ගත හැකි කිසිදු පුද්ගල නාමයක් හෝ ආයතනික නාමයක් හෝ සටහනක් හෝ ඉදිරිපත් නොකළ යුතු ය.

05. එක් තරග අංශයක් සඳහා එක් අයදුම්කරුවකුට ඉදිරිපත් කළ හැක්කේ එක් පිටපතක් පමණි. එසේ වුව ඔහුට හෝ ඇයට තරග අංශ කිහිපයක් සඳහා ඉදිරිපත් වීමේ බාධාවක් නැත.

06. ඔබ මෙම තරගය සඳහා ඉදිරිපත් කරන අත්පිටපත මෙයට පෙර වෙනත් අත්පිටපත් තරග සඳහා ඉදිරිපත් කර සම්මානිත වී තිබීම හෝ සම්මාන ඇගයීම් ලබා තිබීම තරගයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසුකම් නොලබන පිටපතක් බව සැලකුව මනා ය. අපගේ මූලික අපේක්ෂාව වන්නේ මෙම තරගය සඳහා පෙර සූදානම් වීමක් සහිතව නවතම නිර්මාණ ඉදිරිපත් කරන ලේඛක ප්‍රජාවක් හඳුනා ගැනීම බැවින් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස අයදුම්කරුවන් හට දැනුම් දෙනු කැමැත්තෙමු.

07. ඉහත තරග කොන්දේසි උල්ලංඝණය වී ඇති බව තරගයේ කවර මොහොතක දී හෝ හඳුනා ගනු ලැබුව හොත් අදාළ පිටපත තරගයෙන් ඉවත් කිරීමට සංවිධායක මණ්ඩලයට බලය පැවරෙනු ඇත.

08. ඔබගේ නිර්මාණ පිටපත සමග ඔබේ ජීවදත්ත තොරතුරු සහ ඉදිරිපත් කරන නිර්මාණය ඔබේ ස්වීය රචනයක් බවත් තරග කොන්දේසි උල්ලංඝණය නොවන බවත් සහතික කරමින් අයදුම් පත්‍රයක් අමුණා එවිය යුතු ය.

 

තරග සඳහා අදාළ වන සාහිත්‍ය ප්‍රවර්ග

1. නවකතා (A4 පිටු 75 කට වැඩි විය යුතු අතර උපරිම සීමාවක් නැත.)

2. කෙටිකතා සංග්‍රහ: කෙටිකතා නිර්මාණ අවම වශයෙන් පහක් ඇතුළත් A4 පිටු 30 ට නොඅඩු විය යුතුය. පිටපත ආරම්භක පිටුවක නිර්මාණ පෙළ ගැස්ම සහිත පටුනක් අමුණා එවිය යුතු ය.

3. කාව්‍ය සංග්‍රහ: අවම වශයෙන් A4 පිටු 40 ක් සහිත කාව්‍ය නිර්මාණ එකතුවක් විය යුතු අතර උපරිමය පිටු 60 කට සීමා වීම අපේක්ෂා කෙරේ. (අනිවාර්ය නැත) මුල් පිටුවක කාව්‍ය පෙළ ගැස්ම සහිත පටුනක් අමුණා තිබිය යුතු ය.

4. යොවුන් නවකතා: යොවුන් චරිත (වයස 14ට වැඩි 20 ට අඩු) මුලිකව සිය අත්දැකීම් කලාපය උසස් පරිකල්පනයක් සහිතව ප්‍රබන්ධ ගත ව තිබීම අපේක්ෂිත ය. කතුවර මතක සටහන් හෝ ස්වයං ලිඛිත චරිතාපදාන ඉදිරිපත් කිරීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිනු ලැබේ. අවම A4 පිටු 40 - 50 යටතේ පිටපත සකස් විය යුතු අතර උපරිමය A4 පිටු 100 කට පමණ සීමා කිරීම අපේක්ෂා කෙරේ.

5. ළමා සාහිත්‍ය නිර්මාණ: මෙම තරග අංශය කොටස් දෙකක් යටතේ පැවැත් වේ.

පළමු තරග අංශය - වයස අවුරුදු 3 සහ 8 අතර ළමා පාඨකයින් ගේ කියවීම උදෙසා වර්ණ හතරේ චිත්‍ර සහිත පිටු 16ත් 20ත් අතර ළමා කතන්දර පොතක් විය යුතු ය.

දෙවන තරග අංශය - වයස අවුරුදු 8 ත් 13 ත් අතර වයස් කාණ්ඩයේ ළමා පාඨකයින් ගේ කියවීමට පාදක විය හැකි, පරිච්ඡේද ආරම්භයේ භාවිත කළ හැකි රේඛා චිත්‍ර ඇතිව හෝ නැතිව A5 පිටු අවමය 20ක් සහ උපරිමය A5 පිටු 40කට යටත් කතන්දරයට මුල් තැන දුන් ප්‍රබන්ධ අපේක්ෂා කෙරේ.

 

විශේෂ සටහන

තරගයට ඉදිරිපත් කෙරෙන ඔබගේ නිර්මාණවල පූර්ණ වශයෙන් හෝ කොටස් ලෙස හෝ වෙනත් කෘතිවලින් (දෙස්/විදෙස්) ගත් උපුටන ගැබ් නොවිය යුතු ය.

තේමා විවෘත ය. එසේ වුවද කිසියම් පුද්ගලයකු හෝ නාමයක් හෝ ඕනෑම ආගමක් හෝ ජාතියක් හෝ ජන වර්ගයක් හෝ සෘජුව හෝ වක්‍රව අපහාස/ උපහාසයට ලක් කෙරෙන අන්තර්ගතයන් සහිත නොවිය යුතු ය.

භාෂා භාවිතයේ දී ගත් වහර හෝ කට වහර හෝ ප්‍රබන්ධාත්මක ලෙස භාවිත කළ හැකි ය. ගත් වහරේදී සම්මත සිංහල වියරණය නිවැරදිව භාවිතා කිරීමක් අපේක්ෂා කරන අතර කට වහරේදී ඊට උචිත සජිව බව පවත්වා ගැනීම අපේක්ෂා කෙරේ. කවර භාෂා රීතියයක් භාවිත වුව ද ප්‍රබන්ධමය ලක්ෂණ පවත්වා ගැනීම කෙරෙහි සැලකිලිමත් වීම මැනවි.

තරගයේ විනිශ්ච මණ්ඩලය ලෙස ෂානරීය ප්‍රාමාණිකයන්ගේ සහාය ලැබෙන අතර ඔවුන් ගේ තීරණය අවසාන තීරණය ලෙස ක්‍රියාත්මක කෙරේ.

මෙම තරගයෙන් ජයග්‍රහණය කරන පිටපත් දිවයිනේ ප්‍රකට ප්‍රකාශන ආයතනවල සහායෙන් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව ද දැනුම් දෙමු.

සියලු තරග අංශ ජයග්‍රාහක පිටපත් සඳහා ජය සංකේත, සහතික පත්‍ර හා ත්‍යාග පිරිනැමේ.

සම්මාන සහ ත්‍යාග ප්‍රදානය 2027 වසරේ ජුනි මස අග භාගයේ දී පැවැත්වීමට අපේක්ෂිත ය.

ඉහත තරගයේ වැඩිදුරටත් තොරතුරු විමසීම සඳහා පහත දුරකතන අංක අමතන්න.

කමල් පෙරේරා - 071 8670 913

අනුරසිරි හෙට්ටිගේ - 071 5 316 568

තරගය සඳහා ඉදිරිපත් කරන ඔබගේ නිර්මාණ 2026 ඔක්තෝම්බර් මස 31 දිනට පෙර පහත දැක්වෙන ලිපිනයට ගෙනැවිත් බාර දීම හෝ ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට හෝ සැලැස්විය හැකි අතර තැපෑලේ දී අස්ථානගත වන පිටපත් පිළිබඳ වගකීම සංවිධායක මණ්ඩලයට නොපැවරෙන බව සැලකුව මනා ය.

ලිපිනය: කමල් පෙරේරා,

ලේකම්

ලංකා ලේඛක සංවිධානය

119 A පොල්හේන කැලණිය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න