Image

ආණ්ඩුවට බලය දරාගන්න බැරුව උමතු වෙලා - නාමල් රාජපක්ෂ

ආණ්ඩුවට බලය දරාගන්න බැරුව උමතු වෙලා - නාමල් රාජපක්ෂ

මාලිමා ආණ්ඩුවට මන්ත්‍රීවරු 159ක ජනාධිපතිවරයා ගේ බලතල දරා ගැනීමට නොහැකිව උම්මත්තකයින් ලෙස හැසිරෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ(30) කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...

 

රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනව කටයුතු කළ යුතුයි

''පරණ නඩු වගයක් තියෙනවා ඉතින්. එනවා, නඩු කල් යනවා, අපි යනවා ඉතින්. හැබැයි අපි හැමදාම අධිකරණයට වෙලාවට පෙනී සිටිනවා. මොකද අපි විශ්වාස කරනවා මේ රටේ අධිකරණය ස්වාධීනව මොන ආණ්ඩුව ආවත් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි දේශපාලන මැදිහත්වීම්වලින් තොරව අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන විශ්වාසය අපිට තියෙනවා.

හැබැයි ඉතින් පොලීසිය කෙරෙහි නම් විශ්වාසයක් නෑ. දැන් ඔය වර්තමාන ගරු අග්‍රවිනිශ්චයකාරතුමා ගේ වයස දීර්ඝ කරනවා කියන සාකච්ඡාව ගේන්නේ ආණ්ඩුව නේ... මොකද ආණ්ඩුවේ බලාපොරොත්තුව ඒක වෙන්න පුළුවන්. හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනව කටයුතු කරන්න ඕනේ සහ දේශපාලන මැදිහත්වීම්වලින් තොර වෙන්න ඕනේ. අද පැහැදිලිවම ආණ්ඩුව මේ රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය කෙරෙහි විශාල බලපෑමක් කරන්න උත්සාහ කරනවා. ඒක ආණ්ඩුවේ පාර්ලිමේන්තුව තුළ, පිටත ප්‍රකාශවලින් පවා පැහැදිලි වෙනවා.

 

පොලීසිය සම්පූර්ණයෙන් ම පැලවත්තේ

ඒ වගේම තමයි පොලීසිය මෙහෙයවන ආකාරය. අද ශ්‍රී ලංකා පොලීසිය නිකන් ජේවීපී පොලීසිය බවට පත් වෙලා තියෙනවනේ. මොකද පොලීසිය විසින් දක්වන කරුණු මත තමයි ගරු විනිශ්චයකාරවරු තමන් ගේ තීන්දු තීරණ ගන්නේ. සාක්ෂි මෙහෙයවන්නේ. හැබැයි ඉතින් පොලීසිය සම්පූර්ණයෙන් ම පැලවත්තේ පොලීසිය බවට පත් වෙනවා නම්, ඉතින් ඒ තුළ පොලීසියේ ස්වාධීනත්වයකුත් නෑ, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා වෙන්නෙත් නෑ. ඉතින් ආණ්ඩුවත් තේරුම් ගන්න ඕනේ දැන් අර පිස්සුව හොඳටම තද වෙනකොට උඩට නැග්ග ගමන් ගැඹුර පේන්නේ නෑ. ඉතින් පැනලා බලනවා. අතපය කඩාගන්නවා, විනාශ වෙලා යනවා.

ඉතින් දැන් ආණ්ඩුවේ පිස්සුව හොඳටම තද වෙලා තියෙන්නේ. බලයෙන් උන්මත්තකවෙලා තියෙන්නේ. 159, ගරු ජනාධිපතිවරයාගේ බලතල, මේ සියල්ලම දරාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ හින්දා දැන් උඩ නැගලා ඉන්නේ. බිමේ ගැඹුර දන්නේ නෑ. ඉතින් පැනලා බලනවා. පැනලා බලපුවාම තමයි ආණ්ඩුවටත් තේරෙන්නේ කොච්චර ගැඹුරක ද පැනලා තියෙන්නේ කියලා. ඉතින් ආණ්ඩුව කැමති නම් පනින්න, පැනලා බලන්න කොතනින්ද නතර වෙන්නේ කියලා.

ආණ්ඩුව, එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන ව්‍යවස්ථා සංශෝධන ගේනවා

පුද්ගලබද්ධව තීන්දු තීරණ ගත යුතු නෑ කියන එක තමයි මගේ විශ්වාසය. මොකද අපි ඉතිහාසයේත් පුද්ගලබද්ධව තීන්දු ගත්තනේ. මේ රටේ ව්‍යවස්ථා සංශෝධන අපි ගෙනල්ලා තියෙන්නේ බොහෝ අවස්ථාවල පුද්ගලයෝ ඉලක්ක කරගෙන. එක පාරක් ගෙනාවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ කාලේ අපි ගෙනාවා තුන් පාරක් ඉල්ලන්න. පුද්ගලබද්ධව. මොකද ඒ වෙලාවේ හිටපු ආණ්ඩුව හිතුවා, තීන්දු කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුන් පාරක් ඉල්ලිය යුතුයි කියලා. ඊට පස්සේ ගෙනාවා අවුරුදු 30, 35 කරා. ඇයි? පුද්ගලබද්ධව. ඊට පස්සේ ද්විත්ව පුරවැසියන්ට ඉල්ලන්න බෑ කියලා. අද ද්විත්ව පුරවැසියන්ට මහ බැංකුවේ සභාපති වෙන්නත් පුළුවන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙන්නත් පුළුවන්. හැබැයි ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු එන්න බෑ. ඇයි? පුද්ගලබද්ධව ගෙනාවා. ඊට පස්සේ ඒක ආයෙ වෙනස් කරා. වෙනස් කරපු එක ආයෙත් වෙනස් කරා. ඉතින් අද මේ ආණ්ඩුවත් එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන ව්‍යවස්ථා සංශෝධන ගේන්න හදනවා. ඉතින් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න එපැයි.

මේක 'යන්නෙ කොහෙ ද මල්ලෙ පොල්' ආණ්ඩුවක්

අද රටේ ජනතාව දැඩි ආර්ථික පීඩනයක ඉන්නවා. ජීවන වියදම දිනෙන් දින ඉහළ යනවා. ගොවියාට තමන්ගේ අස්වැන්න විකුණගන්න විදියක් නෑ. හැබැයි මේ සියලු කාරණා අස්සේ පිටරටින් හාල් ගේනවා, මාළු ගේනවා. අද ධීවරයා අසරණ වෙලා. මාළු මිළ ඉහළට ගියත් ඒ මාළු මිල වැඩිවීමේ වාසිය ධීවරයාට ලැබෙන්නේ නෑ. අවසානයේ පාරිභෝගිකයාටත් සහනදායී මිලකට, සාධාරණ මිලකට මාළු හම්බවෙන්නේ නෑ. ඒ වගේම තමයි අසීමිත බදු බරක්. ඉතින් මේ සියලු කාරණා පැත්තක තියලා ආණ්ඩුව තමන්ගේ උද්ධච්චකම, තමන්ගේ මහන්තත්තකම, තමන්ගේ අර අසීමිත බලයෙන් උද්මත්ත වෙච්ච කාරණය, අසීමිත බලයෙන් උජාරුවට පත් වෙලා, ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න හදනවා. ඉහළ උසාවිවල  විනිශ්චයකාරවරුන් ගේ කාලය දික් කරන්න. ඉතින් හිතාගන්න පුළුවන්නේ කොහෙද යන්නේ කියලා ඇහුවොත් මල්ලේ පොල් තමයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න