ඝාතනයට පත් ඊශ්‍රායල හමුදා භටයකුගේ යයි පැවසෙන සිරුරක් අද ( 09) රතු කුරුස හමුදාව හරහා ඊශ්‍රායල හමුදා වෙත භාර දීමට පියවර ගැනිණි.
එම මළ සිරුර මීට දශකයකට පමණ පෙර, ගාසා තීරයේදී ඝාතනය කෙරුණු ඊශ්‍රායල හමුදා භටයකුගේ බව හමාස් සංවිධානය පවසයි.
අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු, එම මළ සිරුර රතු කුරුසය මගින් ඊශ්‍රායල හමුදා වෙත ලැබුණු බව සනාථ කළේය.
මළ සිරුර මෙතෙක් හඳුනා තහවුරු කර නැතැයි ද වාර්තා වේ.
එය, 2014 ඊශ්‍රායල - හමාස් යුද සමයේ සිදු කළ ප්‍රහාරයක දී ඝාතනය කෙරුණු ඊශ්‍රායල හමුදා නිලධාරී හඩාර් ගෝල්ඩින් (Hadar Goldin) ගේ බව හමාස් සන්නද්ධ අංශය කියයි.
දෙවසරක ගාසා යුද්ධයෙන් අනතුරුව, ඔක්තෝබර 07 දා ඇරඹි ගාසා සටන් විරාමයත් සමග, හමාස් භාරයේ ජීවග්‍රහයෙන් සිටි ප්‍රාණ ඇපකරුවන් 20 දෙනකු නිදහස් කිරීමට කටයුතු කෙරිණි. හුවමාරු ලෙස, ඊශ්‍රායල භාරයේ සිටි පලස්තීන රැඳවියන් 2,000ක් ද මුදා හැරීමට පියවර ගැනිණි.
සටන් විරාම ගිවිසුම් ප්‍රකාරව, ඊශ්‍රායල රැඳවුම් භාරයේ සිටියදී ජීවිතක්ෂයට පත් පලස්තීන සන්නද්ධ සටන් කරුවන් 360 දෙනකුගේ සිරුරු වෙනුවෙන්, ගාසා තීරයේ හමාස් භාරයේ රඳවා සිටියදී මිය ගිය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 28 දෙනකුගේ සිරුරු යළි, ඊශ්‍රායලය වෙත භාර දිය යුතු වේ.
අද දිනට ප්‍රථම, හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ, සිය රැඳවුම් හාරයෙදී ජීවිතක්ෂයට පත් ප්‍රාණ ඇපකරුවන් 23 දෙනකුගේ සිරුරු ඊශ්‍රායලය වෙත භාර දී තිබේ. ප්‍රතිචාර ලෙස, ඊශ්‍රායල හමුදා භාරයේ ජීවිතක්ෂයට පත් පලස්තීනුවන් 300කගේ සිරුරු හමාස් සංවිධානය වෙත යවා ඇත. එම සියලු මළ සිරුරු මෙතෙක් හඳුනා තහවුරු කර නැතැයි, හමාස් සෞඛ්‍ය බලධාරීහු පවසති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/09/2025

